ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සහ සුනඛ ගහනය විධිමත් ලෙස පාලනය කිරීම අරමුණු කරගනිමින් සකස් කරන ලද “ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත” රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.
වත්මන් අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා (476 වන අධිකාරය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ (477 වන අධිකාරය වූ) සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත එකිනෙකා හා ඒකාබද්ධ කර මෙම නව පනත් කෙටුම්පත සකස් කර තිබේ.
මේ සඳහා 2025 සැප්තැම්බර් 22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මූලික අනුමැතිය හිමිව තිබූ අතර, ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද කෙටුම්පත සඳහා මේ වන විට නීතිපතිවරයාගේ නිෂ්කාශනය (අනුමැතිය) ද ලැබී අවසන්ය.
මෙම නව පනත් කෙටුම්පත මඟින් ප්‍රධාන අරමුණු කිහිපයක් ඉටු කර ගැනීමට අපේක්ෂා කෙරේ. සුනඛ ගහනය ඵලදායී ලෙස පාලනය කිරීම, සියලුම සුනඛයන් සඳහා ජලභීතිකා එන්නත් ලබාදීම විධිමත් මෙන්ම අනිවාර්ය කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය නීතිමය වශයෙන් වඩාත් ශක්තිමත් කිරීම ඒ අතර වේ.
මීට අමතරව, මෙම සමස්ත ක්‍රියාවලිය සහ වගකීම් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අදාළ ආයතන සතු බලතල පැහැදිලිව නිර්වචනය කිරීම සහ ඒ සඳහා ස්ථාවර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ද මෙම නව පනත මඟින් සිදු කිරීමට නියමිතය.







