මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාගේ සහ රැඳවියන් 20 දෙනාගේ මෘත දේහ සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා, එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.
එසේම මියගිය පුද්ගලයන්ගේ පවුල්වල භාරකරුවන්ගෙන් වෙන් වෙන් වශයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා දේහයන් ඥාතීන් වෙත භාර දීමට පියවර ගන්නා ලෙස මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් අතර ඇති වූ මෙම බරපතළ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ සිරකරුවන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් නිලධාරීන් සහ සිරකරුවන් පිරිසක් බරපතළ හා සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇත. ගැටුම හේතුවෙන් බන්ධනාගාර දේපළවලට ද දැඩි හානි සිදු විය.
මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශන අරඹා ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇති අතර, එම පොලිස් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද කඩිනමින් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර තිබේ. ( බීබීසී )







