ජනාධිපති අනුර කුමාර දිසානායක හිස් පොරොන්දු ලබා දෙන බවත්, ඉදිරියේදී රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වන බවත් හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු අනාවැකි පළ කරයි.
“ගෝඨාභය අස්වෙලා ගියා. අනුර කුමාරට වෙන්නේ හොයාගන්න බැරි වෙන්න දුවන්න – මතක තියාගන්න අපි මේක කිව්වා කියලා,” යැයි ඔහු අවධාරණය කළේය.
ඊයේ (18) මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ උද්ධමනය සහ විනිමය පීඩනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත සංශෝධනය කිරීම ඇතුළු පූර්ව ආරක්ෂණ පියවර ගැනීමට රජය වහා කටයුතු කළ යුතු බවය.
මැද පෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බරපතල අවදානම පිළිබඳව ද හිටපු අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය. විශේෂයෙන්ම අපනයන, සංචාරක ක්ෂේත්‍රය සහ විදේශ විනිමය ගලා ඒම කෙරෙහි මෙයින් දැඩි බලපෑම් එල්ල විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
ගෝලීය බොරතෙල් මිල ඉහළ යාම, නාවික ගමන් මාර්ගවලට බාධා පැමිණීම සහ උද්ධමනය ඉහළ යාම හේතුවෙන් මෙරට ආර්ථික ප්‍රකෘතිමත් වීම අභියෝගයට ලක්විය හැකි බව හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති අතර, සැපයුම් දාමයට එල්ල වන බාධා නිසා ප්‍රවාහන, ආහාර සහ අත්‍යවශ්‍ය සේවා ගාස්තු ඉහළ යා හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙරට තේ අපනයනයෙන් 38% ක් පමණ (ඩොලර් මිලියන 500 කට අධික වටිනාකමක් සහිත) මැද පෙරදිග කලාපයට සිදු කෙරෙන බැවින් එම අංශයට එල්ල වන බලපෑම පිළිබඳව ඔහු කනස්සල්ල පළ කළේය. එසේම ගුවන් ගමන් බාධා හේතුවෙන් මුහුදු ආහාර වැනි නරක් වන ද්‍රව්‍ය අපනයනය කිරීමේදී භාණ්ඩ ප්‍රවාහන ධාරිතාවට ගැටලු මතු වන බව ද ඔහු පෙන්වා දුන්නේය.
සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මැද පෙරදිගින් පැමිණෙන සංචාරකයන් සෘජුවම අඩු වුවද, මෙරටට එන සංචාරකයන්ගෙන් 28.5% ක් පමණ ඩුබායි, දෝහා සහ අබුඩාබි වැනි ගුවන් තොටුපළ හරහා පැමිණෙන බවයි.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවලින් ලැබෙන විදේශ ප්‍රේෂණ අඩුවීම ද විදේශ විනිමය සංචිතවලට බලපෑමක් වනු ඇතැයි ඔහු පැවසීය. දේශීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ විදුලි ගාස්තු සංශෝධනයක් හරහා උද්ධමනය ඉහළ යා හැකි බවත්, එය විදේශ සංචිත සහ විනිමය අනුපාතය කෙරෙහි පීඩනයක් එල්ල කරන බවත් ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය.







