රජය විසින් ගෙන ඒමට සූදානම් වන නව ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හමුවේදී මාධ්‍යවේදීන් සහ අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමති ජ්‍යෙෂ්ඨ නීතිඥ හර්ෂණ නානායක්කාර අතර පුළුල් සංවාදයක් ඇති විය. විපක්ෂය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙන්ම සිවිල් සංවිධාන රැසක් මේ වන විටත් මෙම තීරණයට එරෙහිව දැඩි විරෝධයක් මතු කරමින් සිටින පසුබිමක, මාධ්‍යවේදීන් මෙහි ඇති දේශපාලනික සහ සදාචාරාත්මක ගැටලු පිළිබඳව ඇමතිවරයාගෙන් සෘජුවම ප්‍රශ්න කළේය.
විපක්ෂයේ සහ නීතිඥ සංගමයේ බරපතළ චෝදනා
මෙහිදී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රධානතම කාරණාව වූයේ, මෙම ව්‍යවස්ථා සංශෝධනය වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඉලක්ක කරගෙන සිදු වන්නක් ද යන්නයි. මෙරට 49 වැනි අගවිනිසුරුවරයා ලෙස 2025 ජූලි 27 වන දින ධූරයේ වැඩ භාරගත් හෙතෙම එළඹෙන දෙසැම්බර් මාසයේදී විශ්‍රාම ගැනීමට නියමිතව ඇත. විපක්ෂය චෝදනා කරන්නේ ඔහුට තවත් වසර දෙකක සේවා කාලයක් ලබා දීම වෙනුවෙන් ආණ්ඩුව ලහි ලහියේ මෙම සංශෝධනය ගෙන එන බවයි. ලබන දෙසැම්බර් මාසයෙන් පසුව මෙම සංශෝධනය සිදු නොකරන්නේ මන්දැයි මාධ්‍ය මෙහිදී ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් ඊයේ සිදුකළ ප්‍රකාශයකින් ද මාධ්‍යෙව්දීන් ද කෙළින්ම ඇසූ ප්රශ්නය ව්‍යංගයෙන් කීවේය. සාලිය පිරීස් පෙන්වා දුන්නේ තමන්ට ප්‍රියමනාප අගවිනිසුරුවරයෙකු ධූරයේ තබා ගැනීමට දේශපාලන බලවේග මෙවැනි දේ පූර්වාදර්ශ කරගතහොත්, අනාගතයේදී තමන්ට ප්‍රිය අගවිනිසුරුවරුන් යාවජීව ලෙස තබා ගැනීමට පවා මෙවැනි සංශෝධන නරක පූර්වාදර්ශයක් විය හැකි බවය.
ජාතික ජන බලවේගයේ උප සභාපති ලාල් විජේනායක ඇතුළු සමස්ත විපක්ෂයත්, අධිකරණ සේවා සංගමය සහ සිවිල් සංවිධානත් මෙයට විරෝධය පාද්දී රජය මෙම තීරණය ගන්නේ කුමන පදනමකින්දැයි ප්‍රශ්න කෙරිණි. එමෙන්ම, මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට පෙර, සදාචාරාත්මක පදනමක් මත අගවිනිසුරුවරයා ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට වන විපක්ෂයේ තර්කය ද මාධ්‍ය හමුවේදී ඉදිරිපත් විය.
නඩු ලක්ෂ 11ක අර්බුදය සහ පහළ උසාවිවල තත්ත්වය
මෙරට අධිකරණ පද්ධතිය තුළ නඩු ලක්ෂ 11ක් ගොඩගැසී ඇති බවත්, ඉන් අතිබහුතරයක් පවතින්නේ මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණ වැනි පහළ උසාවිවල බවත් මාධ්‍යවේදීන් පෙන්වා දුන්නේය. එවැනි පසුබිමක ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ වයස් සීමාව පමණක් දීර්ඝ කිරීමෙන් නඩු කඩිනමින් විසඳීමට ඇති බලපෑම කුමක්දැයි තවත් මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය.
එමෙන්ම, නීතිඥ සංගමය හෙට දිනයේ රැස්වී තීරණාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණහොත් රජය මෙම තීරණය ‘රිවස්’ කිරීමට සූදානම්ද යන්න සහ අදාළ පාර්ශවයන් සමඟ පූර්ව සාකච්ඡාවකින් තොරව මෙලෙස හදිසියේ කටයුතු කරන්නේ ඇයිද යන්න පිළිබඳව ද කරුණු විමසන ලදී.
අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර දුන් පිළිතුර
මාධ්‍යවේදීන් නැඟූ සියලුම ප්‍රශ්නවලට සවිස්තරාත්මක පිළිතුරු ලබා දෙමින් අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමති ජ්‍යෙෂ්ඨ නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළේ, අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදයට පිළියම් යෙදීම රජය ජනතාවට දුන් ප්‍රධාන පොරොන්දුවක් බවයි.
“මාස ගණන්, අවුරුදු ගණන් නඩු යනකොට මිනිස්සු අධිකරණවල රස්තියාදු වෙනවා. වෙනත් පද්ධති වගේම අධිකරණ පද්ධතියත් කාර්යක්ෂම විය යුතුයි. ඒ සඳහා විනිසුරුවරුන්ගේ වයස් සීමාවන් වැඩි කිරීම එක පැත්තක් විතරයි. අපි තවත් පැති කිහිපයකින් මැදිහත් වෙනවා. මූලිකවම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගැටලු විසඳලා ඒ කටයුතු කඩිනම් කරනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ ගැටලු විසඳනවා වගේම අධිකරණ අමාත්‍යාංශයේ පවතින පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදු කරමින් පද්ධතිය කාර්යක්ෂම කරනවා.” යැයි ඇමතිවරයා පැවසීය.
ලංකාවේ පවතින බරපතළම අර්බුදය නම් ජනගහනයට සාපේක්ෂව විනිසුරුවරුන්ගේ හිඟකම බව ඇමතිවරයා පෙන්වා දුන්නේය. දියුණු රටක ජනගහනයෙන් මිලියනයකට විනිසුරුවරුන් 40 ත් 60 ත් අතර ප්‍රමාණයක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටියද, ශ්‍රී ලංකාවේ මිලියනයකට සිටින්නේ විනිසුරුවරුන් 20ක් වැනි ඉතා අඩු ප්රමාණයකි. පසුගිය වසර 10-12ක කාලය තිස්සේ නිසි පුරෝකථනයකින් යුතුව විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි නොකිරීම මෙම නඩු ගොඩගැසීමට ප්‍රධානතම හේතුව බව හෙතෙම සඳහන් කළේය.
සියලුම මට්ටම්වල විනිසුරුවන්ගේ වයස අවුරුදු 2කින් ඉහළට
මාධ්‍ය මතු කළ සැකය දුරු කරමින් ඇමතිවරයා පැහැදිලි කළේ මෙම වයස් සීමාව දීර්ඝ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ අභියාචනාධිකරණයට පමණක් සීමා නොවන්නක් බවය. මහේස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන් ඇතුළු සියලුම මට්ටම්වල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් වැඩි කිරීමට රජය පියවර ගන්නා බව ඔහු තහවුරු කළේය.
පරිණත සහ අත්දැකීම් බහුල විනිසුරුවරුන් පද්ධතිය තුළ රඳවා ගැනීම හරහා නඩු ඇසීම වේගවත් වන බවත්, 1978 න් පසු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස මෙලෙස සංශෝධනය වී නොමැති බවත් ඇමතිවරයා කීවේය. ලෝකයේ බොහෝ රටවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 70ක් වන බැවින්, මෙරට විනිසුරුවරුන් වයස අවුරුදු 60න් විශ්‍රාම යාම වෙනුවට ඔවුන්ගේ පරිණත සේවය තවදුරටත් රටට ලබා ගැනීම මෙහි අරමුණ බව ඇමතිවරයා පැවසුවේය.
විනිසුරුවරුන්ගේ අත්දැකීම් මුහුකුරා යත්ම නීතියේ සංවර්ධනය මෙන්ම අධිකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ද ඉහළ යන බව හෙතෙම පෙන්වා දුන්නේය.
විනිසුරුවන්ගේ විරෝධය සහ රජයේ ස්ථාවරය
විනිසුරුවන්ගෙන් ලැබී ඇති ලිපියක් සම්බන්ධයෙන් ද අධිකරණ ඇමතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.
විනිසුරුවන් 65 දෙනෙකු එකතු වී මෙම තීරණයට යම් විරෝධතාවයක් දක්වා ඇති බව සත්‍යයක් වුවද, සමස්ත පද්ධතිය තුළ මහාධිකරණ විනිසුරුවන් 94ක් ඇතුළුව සමස්ත විනිසුරුවරුන් 380ක් සේවය කරන බව ඔහු සිහිපත් කළේය. කෙසේ වෙතත්, එම 65 දෙනා ඉදිරිපත් කළ කරුණු ද රජය බැහැර කර නොමැති අතර ඒවා කෙරෙහි අවධානය යොමු කර ඇති බව හෙතෙම පැවසීය.
වසර ගණනාවක සිට පැවති සංවාදයක්
මේ අතර මෙම යෝජනාව හදිසියේ කරළියට ආ එකක් නොවන බවත්, දිගු කලක් තිස්සේ විවිධ පාර්ශව විසින් සාකච්ඡා කරන ලද්දක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමතිවරයා සාක්ෂි සහිතව පැහැදිලි කළේය:
-
2015 ව්‍යවස්ථා සංශෝධන කමිටුව: 2015 රජය සමයේ පාර්ලිමේන්තුවේ පිහිටුවූ ව්‍යවස්ථා සංශෝධන මෙහෙයුම් කමිටුවේ අධිකරණය පිළිබඳ අනුකමිටුව (රවුෆ් හකීම්ගේ ප්‍රධානත්වයෙන් යුත් අතර තලතා අතුකෝරල, එම්.ඒ. සුමන්තිරන්, උදය ගම්මන්පිල සහ චන්දිම වීරක්කොඩි යන අය සාමාජිකත්වය දැරූ) විසින් අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ වයස අවුරුදු 65 විය යුතු බවටත්, එම සේවය අවුරුදු 70 දක්වා ලබා ගැනීමටත් යෝජනා කර තිබුණි.
-
2016 ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා: 2016 අප්‍රේල් මාසයේදී එවකට නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් පාර්ලිමේන්තු කමිටුව වෙත නිල වශයෙන් නිර්දේශ ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් විය යුතු බව පෙන්වා දී තිබුණි.
-
2020 විසිවැනි සංශෝධනය: 2020 ඔක්තෝබර් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සංඛ්‍යාව 11 සිට 17 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරන් සංඛ්‍යාව 12 සිට 20 දක්වාත් ඉහළ නංවන විටම මෙම විශ්‍රාම වයස ද සංශෝධනය විය යුතුව තිබූ බව ඇමතිවරයා සිහිපත් කළේය.
-
2025 ඔක්තෝබර් පෞද්ගලික මන්ත්‍රී යෝජනාව: 2025 ඔක්තෝබර් 10 වැනි දින පාර්ලිමේන්තු Order Book Supplement හි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා විසින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව විනිසුරු විශ්‍රාම වයස (ශ්‍රේෂ්ඨාධිකරණ 65 සිට 67, අභියාචනාධිකරණ 63 සිට 65, මහාධිකරණ 61 සිට 63 දක්වා) ඉහළ නැංවීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ද ඉදිරිපත් කර තිබුණි කැබිනට් ප්‍රකාශක නලින්ද අවධාරණය කළේ මෙය වසර ගණනාවකට සිට විවිධ පාර්ශවලින් ඉදිරිපත් කළ යෝජනාවක් ක්‍රියාත්මක කිරීමක් බවය.
විවේචකයින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන බව පැවසුවද, එය සිදුවන්නේ කෙසේදැයි ඔවුන් පැහැදිලි නොකරන බව ඇමතිවරයා සඳහන් කළේය. අතීත අත්දැකීම් නිසා සමාජය තුළ මෙවැනි සැකයන් මතු වීම සාධාරණ වුවත්, මෙමඟින් කිසිදු ලෙසක අධිකරණයේ ස්වාධීනත්වයට හෝ භාවිතාවන්ට බලපෑමක් නොවන බවත්, මෙය අධිකරණ පද්ධතිය පුළුල් කර ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාපිතව ඇති බලය අනුව සිදු කරන ප්‍රතිපත්තිමය සංශෝධනයක් පමණක් බවත් ඇමතිවරයා අවධාරණය කළේය. මේ සඳහා ජනමත විචාරණයකට යා යුතු නොවන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.









