GMOA නිසා රෝහලකටවත් වද්ද නොගත් සුවසැරියට අවුරුදු 05යි… සුවසැරිය දියුණු කරන බව ජනපති කියයි…

1990-suwaseriya-

කීර්ති ප්‍රනාන්දු –

කොවිඩ් වසංගත තත්වය හමුවේ මිල කළ නොහැකි සේවාවක් සිදුකරමින් සිටින සුවසැරිය ගිලන්රථ සේවය ආරම්භ කර අදට වසර 05කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



වර්ෂ 2016 ජූලි මස 28 දා 1990 හදිසි ඇමතුමට යටත් කර මෙම ගිලන්රථ සේවාව ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ආරම්භවන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජාතික නිදහස් පෙරමුණ ප්‍රමුඛ දේශපාලනය මෙම සේවාවට එරෙහිව බරපතල විරෝධතාවයක් දියත් කළේය.

මෙය ඉන්දියානු රහස් ඔත්තු සේවයේ අංශයක් බව ප්‍රකාශ කරමින් දියත් කළ විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස කිසිම රෝහලක මෙම ගිලන් රථ නවතා තැබීමට ඉඩ නොදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කළේය.

අනතුරුව ගිලන්රථ නවතා තැබීමට සිදුවූයේ ආසන්නම පොලිස් ස්ථානයේ ය. පොලිස් ස්ථානවල නවතා තැබූ සුවසැරිය ගිලන්රථ සේවාව මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අවශ්‍යම වූ අවස්ථාවල ක්‍රියාත්මක වූයේය.

ගිලන්රථ 297ක් මේ වනවිට සුවසැරිය සඳහා යොමුකර තිබේ. නොමිලයේ ලබා දෙන සුවසැරිය ගිලන්රථ සේවාව රට පුරා ක්‍රියාත්මක වෙමින් ඇත.

මේ සේවාව ලබා ගැනීම සඳහා දිනකට සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලීම් 5000කට අධික ප්‍රමාණයක් ලැබෙමින් ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙම ගිලන්රථ සේවය අතිශය වැදගත් සේවාවක් ඉටු කරමින් සිටී. ඊයේ (27) වනවිට කොවිඩ් රෝගීන් 67 962ක් රෝහල් ගත කිරීමට සුව සැරිය ගිලන්රථ සේවාව දායකත්වය සපයා තිබේ.

සුවසැරිය ගිලන්රථ සේවාව ආරම්භකළ දින සිට මේ දක්වා දුරථන ඇමතුම් හතලිස් එක් ලක්ෂ හැත්තෑ තුන් දහසක් එකසිය විසිපහක් ලැබී තිබේ. රෝගීන් නව ලක්ෂ තුන් දහස් හාරසිය තිස් අටක් රෝහල්ගත කර ඇති බවත් අමාත්‍යාංශය කියයි.

රාජ්‍ය අමාත්‍යාංශය කීවේ සැවසැරිය ගිලන් රථ සේවය තව දුරටත් පුලුල් කිරීමට ජනාධිපතිවරයා ගේ අවධානය යොමු වී ඇති බවය. ඊට තව ගිලන් රථ 112ක් එක් කිරීමට සැලසුමක් ඇති බව ද අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.

Exit mobile version