Friends of the Earth ජාත්‍යන්තර සංවිධානයේ සභාපති ධූරය හේමන්ත විතානගේට

ලොව පුරා රටවල් 75 කට ආසන්න ප්‍රමාණයක පාරිසරික සංවිධාන එකතුවකින් සැදුම්ලත් Friends of the Earth -(FOE) ජාත්‍යන්තර සංවිධානයෙහි සභාපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන හේමන්ත විතානගේ මහතා තේරී පත්ව ඇත. දකුණු ආසියානු කලාපයෙන් මෙම ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිත්වයට පත්වූ පළමුවැන්නා වන්නේ හේමන්ත මහතා ‌ය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පරිසර සංවිධානයක් වන පරිසර යුක්ති කේන්ද්‍රයේ (CEJ) සමාරම්භකයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වන ඒ මහතා, එහි විධායක අධ්‍යක්ෂවරයා ලෙස ඉතා මෑතක් වනතුරුම කටයුතු කළේය.

ශ්‍රී ලාංකික පරිසර ක්ෂේත්‍රයේ සිදුවූ අද්වීතීය ක්‍රියාන්විතයන් මෙන් ම පූර්වාදර්ශී සහ ඉතිහාසගත නඩුතීන්දු රාශියක් ද රටට තිලිණ කිරීමට දායකවූ ඒ මහතා FOE ජාත්‍යන්තර සංවිධානයේ සභාපති තනතුර සඳහා ඒකච්ඡන්දයෙන් පත්වීම ද විශේෂත්වයකි.


කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරියෙකු වන හේමන්ත විතානගේ 1990 දී සී/ස පරිසර පදනමේ පරිසර නිලධාරියෙකු වශයෙන් සිය දීර්ඝ කාලීන පරිසර සටනට අවතීර්ණ විය .

2004 වසරේදී ඔහු ශ්‍රී ලංකාවේ දැනට වඩාත්ම දෘශ්‍යමාන පරිසර සංවිධානය වන පරිසර යුක්ති කේන්ද්‍රය – (CEJ) ආරම්භ කළේය. 2005-2008 දක්වා ආසියානු සංවර්ධන බැංකුව අධීක්ෂණය කරන සිවිල් සමාජ සංවිධාන ජාලයක් වන පිලිපීනය පදනම් කරගත් NGO Forum on ADB හි විධායක අධ්‍යක්ෂක ලෙස හේමන්ත විතානගේ මහතා කටයුතු කළ අතර කිහිප වතාවක්ම එම සංවිධානයේ ජාත්‍යන්තර කැඳවුම්කරු ලෙස ද තේරී පත් විය.

වෙනත් කලාපීය හා ජාත්‍යන්තර ජාල ගණනාවක විධායක නායකත්ව තනතුරු හෙබවූ ඔහු, පාරිසරික යුක්තිය උදෙසා අරගල කරන දේශීය සහ ජාත්‍යාන්තර සංවිධාන ගණනාවකම පෙරටුගාමී ක්‍රියාධරයෙකි.

“පරිසර දූෂකයන්ට සහ ස්වාභාවික සම්පත් සූරාකන්නන්ට එරෙහි සටනට පුරා වසර 50 ක් තිස්සේ නායකත්වය දෙන ලෝකයේ විශාලතම බිම් මට්ටමේ පාරිසරික සංවිධානයේ සභාපති ලෙස තේරී පත්වීම මට ඉමහත් ‌‌ගෞරවයකි. ඉදිරි වසර දෙක සඳහා මගේ ප්‍රමුඛතාවය වන්නේ අපගේ දැක්ම හා මෙහෙවරට අනුකූලව සාධාරණ සමාජයක් සඳහා සටන් කරන ලොව පුරා සංවිධාන සහ ප්‍රජාවන් සමඟ ශක්තිමත් බැඳීමක් ඇතිකරගනිමින් අපගේ අරමුණු සහ අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම උදෙසා ක්‍රියාකාරීව කටයුතු කිරීමයි. ” යනුවෙන් ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

වර්තමාන ගෝලීය පාලනය සහ බල පද්ධතීන් එවන් යහපත් සමාජයක් කරා යාමට බාධා කරයි. ලෝකය තිරසාර නිෂ්පාදන හා පරිභෝජන මට්ටම් ඉක්මවා යමින් සිටින අතර පාරිසරික ගැටළු විසඳීමෙහි ලා කඩිනම් ක්‍රියාශීලීත්වයකින් හා ප්‍රමාණවත් කැපවීමකින් යුතුව දායකවීමට බොහෝ දෙනා අසමත්ව සිටිති. COVID -19 ගෝලීය වසංගතය මගින් වර්තමාන පාරිසරික, සමාජ-ආර්ථික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසාධාරණයන් තවදුරටත් හෙළිදරව් කර තිබේ. අපගේ ආහාර පද්ධතීන් සහ ස්වභාවික සම්පත් පාලනය පැහැර ගැනීම මෙන්ම ඒවා සඳහා ව්‍යාජ විසඳුම් ලබාදීමට යෑම හේතුවෙන් සහ දේශගුණික විපර්යාස හා ජෛව විවිධත්වය පිළිබඳ අර්බුද වඩාත් උග්‍ර සහ නරක අන්තයන් කරා තල්ලුකර දමා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ගැටළු විසඳීම සඳහා වඩාත් අවංක හා අර්ථවත් උත්සාහයක් ගෝලීය ආයතනවලින් සහ ජාතික රාජ්‍යයන් වෙතින් අවශ්‍ය වේ. සමස්ත පද්ධතීයේ වෙනසක් සිදුකිරීමෙන් තොරව මෙය සිදුකල නොහැක. ඒ උදෙසා ක්‍රියාකරන ප්‍රජාවන් සහ සංවිධාන සමඟ ජාත්‍යන්තර සහයෝගීතාව ගොඩනැංවීමට දිගින් දිගටම කටයුතු කරන බව Friends of the Earth සංවිධානය, හේමන්ත විතානගේ මහතාගේ පත්වීම වෙනුවෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.

Exit mobile version