සූරියවැව නුවන් ජයසේකර –
දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ නීතිවිරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී කසාගල පිවිසුමේදී අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
මෙසේ බන්ධනාගාර ගත කර ඇත්තේ වීරකැටිය, මුල්කිරිගල, පාසල පාර පදිංචි පුංචිහේවාගේ සිරිවර්ධන නැමැති අයෙකි.
සැකකරු තිස්සමහාරාම, පන්නිගමුව ප්‍රදේශයෙන් ලබාගත් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය කුඩා ලොරි රථයකින් මත්තල අධිවේගී පිවිසුමෙන් ඇතුළු වී කසාගල පිවිසුමෙන් පිටවීමට උත්සාහ කළ අවස්ථාවේදී පසුගිය 24 වනදා අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඕකෙවෙල ප්‍රදේශයේ බලපත්‍ර රහිතව පවත්වාගෙන යන ගල් වැඩපොළක් සඳහා මෙම ද්‍රව්‍ය රැගෙන යමින් සිටි බවය. එහිදී සැකකරු සන්තකයේ තිබී පහත පුපුරණ ද්‍රව්‍ය තොගය පොලිස් භාරයට ගෙන තිබේ:
- ඩෙටනේටර් 490ක්
- ඇමෝනියා කිලෝ 25 මලු 14ක්
- සේවා නූල් අඩි 5600ක්
- වෙඩි බෙහෙත් කිලෝ 14ක්
- ජෙලට්නයිට් කූරු 240ක්
අත්අඩංගුවට ගත් සැකකරු, පුපුරණ ද්‍රව්‍ය සහ ප්‍රවාහනයට යොදාගත් වාහනය වැඩිදුර විමර්ශන සඳහා වීරකැටිය පොලිසියට භාර දී තිබූ අතර, මූලික විමර්ශනවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කෙරිණි. වීරකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







