බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාක්ෂිකරුවන් බිය වද්දා වළලන්නට යන පාස්කු ප්‍රහාරයේ යට ඇති බිහිසුනු ඇත්ත ගැන කතාවක්!

by editor
අප්‍රේල් 26, 2026
in පුවත්
easter-attack
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන – 

ඉතිහාසයේ සිදුවූ ම්ලේච්ඡතම අපරාධයක් වූ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධව  මේ වනවිට බලවත් කරුණු සමුදායක් හෙළි වෙමින් තිබේ.  ඒ එම නඩුවට අදාලව සිදුවන අධිකරණ ක්‍රියාවලිය ඔස්සේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කරන ආකාරයට නිර්මාණය වී ඇත්තේ අතිශයම බිහිසුණු සිද්ධි දාමයකි.  මේ තර්ජන එල්ල වෙමින් ඇත්තේ මේ අපරාධයේ  මෙතෙක් සැඟවී ගිය වැදගත්ම ඉසවු අනාවරණය කරමින් විමර්ශනය නිසි මගට ගත හැකි ආකාරයේ නිශ්චිත සාක්ෂි ඉදිරිපත් කරන සාක්ෂිකරුවන් වෙතය. තර්ජනය එල්ල වෙමින් ඇති බව පෙනෙන්නේ හමුදා බුද්ධි අංශවලිනි.  මේ තත්ත්වය පසුගිය බදාදා (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තා කළේය.

ඉදිරිපත් වූ  කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකැමති මෙය “අතිශය බරපතළ” තත්ත්වයක් බව ප්‍රකාශ කළේය. විනිසුරුවරයා නියෝග කළේ  මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙසය. මෙවැනි අවස්ථාවක  අමතර අධිකරණ නියෝග ලබාගැනීමකින් තොරවම ක්‍රියාත්මක වීමට නීතිපති දෙපාර්තමේන්තුවට බලතල ඇති බවද අධිකරණය විමර්ශකයින් වෙත පෙන්වා දුන්නේය.

easter-attack

අපරාධ පරීක්ෂණ දෙපාරේතමේන්තුව විසින් අධිකරණනය  ඉදියේ ගොනු කළ කරුණු

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

  1. වවුනතිවු පොලිස් නිලධාරීන් ඝාතනයේ තොරතුරු අනාවරණය කළ සාක්ෂිකරුට තර්ජන

2019 පාස්කු ප්‍රහාරයට පෙර මඩකලපුව වවුනතිවු ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය විය. 2018 වසරේ නොවැම්බර් මස 30 වන දින අලුයම මෙසේ අතිශය අමානුෂික ලෙස  ඝාතනය වන්නේ  මඩකලපුව, වවුනතිවු ප්‍රදේශයේ පිහිටි පොලිස් මුරපොළක රාජකාරියේ නිරතව සිටි   වල්පොල පියතිලක සහ ගනේෂ් දිනේෂ්  නැමැති නිලධාරීන් දෙදෙනෙකි.

මුරපොල තිබුණේ වවුනතිවු ප්‍රදේශයේ හුදෙකලා ස්ථානයකය. ඊට රහසේ ඇතුළුවන ඝාතකයින්    නිලධාරීන් දෙදෙනා සිය රාජකාරි අතර  මඳක් විවේක ගනිමින් සිටිය දී තම ග්‍රහණයට ගෙන තියුණු ආයුධවලින් කපා කොටා සහ වෙඩි තබා අතිශය අමානුෂික ලෙස ඝාතනය කර තිබුණි. ඝාතකයින්  ඔවුන් සතුව තිබූ T-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි දෙක සහ පතරොම් ගැබ් (Magazines) පැහැර ගත්තේය.

කොටි නැගිටීම –  විමර්ශනය සිදුකළ විමර්ශන අංශ  බුද්ධි තොරතුරු මත අපරාධය සම්බන්ධව  පරීක්ෂණ ආරම්භ කළහ.  වවුනතිවු ප්‍රහාරය පිළිබඳව මුල් කාලීන තොරතුරු   ලබා දුන්නේ හමුදා බුද්ධි අංශ සහ රාජ්‍ය බුද්ධි සේවය ය.

එම තොරතුරු  හරහා ප්‍රකාශ වන්නේ  ප්‍රහාරය සිදුවූ ස්ථානයේ තිබී හිටපු එල්.ටී.ටී.ඊ (LTTE) සාමාජිකයින් භාවිත කරන ආකාරයේ උපකරණ කිහිපයක් හමු වූ  බවය.  බුද්ධි අංශ විසින් ලබා දුන් තොරතුරු මත පදනම්ව, මඩකලපුව ප්‍රදේශයේ පදිංචි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වූ කදිරමත්තම්බි රාජකුමාරන් නොහොත් ‘අජන්තන්’ නමැත්තා වහාම අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුට එරෙහිව කිසිදු සෘජු සාක්ෂියක් නොතිබුණද, බුද්ධි වාර්තා මත පදනම්ව ඔහුව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට කටයුතු කෙරිණි. මේ හරහා යම් පිරිසක්  සමාජයට සහ රජයට ඒත්තු ගැන්වීමට  උත්සාහ කරමින් සිටියේ  උතුරේ දමිළ සන්නද්ධ කණ්ඩායම්වල නැවත නැගිටීමක්  සිදුවන බවය. ඒ අනුව  විමර්ශන කණ්ඩායම් විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී, ප්‍රහාරය එල්ල වූ ආකාරය සහ ඒ පිටුපස සිටින පිරිස් පිළිබඳව ඉදිරිපත් වී තිබුනේ වැරදි සහගත කරුණුය.

ඇත්ත හෙළි වීම – එහෙත්  2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී, විශේෂයෙන්ම සහරාන්ගේ සමීපතමයෙකු වූ සාදික් අබ්දුල් හක් ඇතුළු පිරිසගෙන් ලැබුණු තොරතුරු මත වවුනතිවු ප්‍රහාරය සැබවින්ම සිදු කළේ සහරාන්ගේ කණ්ඩායම බව තහවුරු විය. එහිදී ඔවුන් පොලිස් නිලධාරීන්ගේ T-56 ගිනිඅවි පැහැරගත් බවත්, එම අවි පාවිච්චි කර තවත් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ බවත් හෙළි විනි. මෙය මීට පෙර බුද්ධි අංශ ඉදිරිපත් කළ “එල්.ටී.ටී.ඊ නැවත නැගිටීමේ” කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවට පත් කළේය.  අනතුරුව සැකකරුවන්ගේ සාක්ෂි මත මාවනැල්ල  වනිතුමුල්ල ප්‍රදේශයේ තිබී මෙම පැහැරගත් ගිනිඅවි සොයාගැනීමත් සමඟම, වවුනතිවු ඝාතනය පිටුපස සිටියේ එල්.ටී.ටී.ඊ සංවිධානය නොව සහරාන්ගේ කණ්ඩායම බව නිශ්චිතවම තහවුරු  වුනේය.

අනතුරුව සිදුකළ විමර්ශනවල දී ආනාවරණය වන්නේ  මෙම අපරාධය  එල්.ටී.ටී.ඊ ක්‍රියාවක් බව පෙන්වීමට ඇතැම් පාර්ශවයන් විසින් අදාළ ස්ථානයට එවැනි ද්‍රව්‍යමය සාක්ෂි පවා  “ඇතුළත් කර” (Planted) තිබූ බවය.

මේ සිදුවීම වනවිට  බුද්ධි අංශ වෙත සහරාන් හෂීම් සහ ඔහුගේ කණ්ඩායම පිළිබඳව තොරතුරු ලැබී තිබුණි.  මෙම ප්‍රහාරයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ අතර ඔහුගේ රජයේ  රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ සුරේෂ් සලේ ය. පොලිස් බුද්ධි අංශය හෙවත් රාජ්‍ය  බුද්ධි සේවය වෙත සහරාන් හෂීම් සහ ඔහුගේ කණ්ඩායම පිළිබඳව තොරතුරු ලැබී තිබුණද, වවුනතිවු සිද්ධිය සමඟ ඔවුන්ගේ ඇති සබඳතාවය නිසි ලෙස විමර්ශන අංශ වෙත (විශේෂයෙන්ම CID වෙත) වාර්තා වී නොතිබීම ද බරපතල අවධානයට ලක් වූයේය.

සහරාන් හෂීම්ගේ  කල්ලිය  සම්බන්ධ බුද්ධි අංශ විසින් සමීපව අධ්‍යයනය කරමින් සිටි බව කියන අවස්ථාවක   වවුනතිවු ඝාතනය සමඟ ඔවුන්ට පවතින සබඳතාවය පිළිබඳව වූ තොරතුරු ක්‍රමානුකූලව යටපත් කිරීමටත්,  ඒ ප්‍රහාරය සඳහා  එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු කාඩරයින් සම්බන්ධ   කිරීමට  දැනුම්වත්වම   හමුදා  බුද්ධි අංශ ක්‍රියාත්මක වුන බවත් තහවුරු කිරීමට අවශ්‍ය සාධක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනතුරුව සිදුකළ විමර්ශනවලදී  මතුකර ගත්තේය.  ඔවුන් උත්සාහ කර තිබුනේ ජාතික තවුහිද් ජමාද් කල්ලිය මේ අපරාධයෙන් වෙන් කර තබා ගැනීමට යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කීවේය.

ඇත්ත හෙළි කළ සාක්ෂිකරු –  මේ අපරාධකාරී නොමග යැවීම් සම්බන්ධව අතිශය තීරණාත්මක සාක්ෂිය ලබා දෙන්නේ ඇසින් දුටු සාක්ෂිකරුවෙක් නොවේ.  එවකට හමුදා බුද්ධි අංශයට සම්බන්ධ වි සිටි,  හමුදා ප්‍රධානීන්ගෙන් මේ සිද්ධිය සම්බන්ධව යම් යම් නියෝග ලැබූ  කණ්ඩායමේ හැසිරීම පිළිබඳ සමීප අවබෝධයක් තිබූ  අයෙකි.  ඔහු  සාක්ෂි දෙමින් පවසා තිබුණේ    වවුනතිවු ප්‍රහාරය සිදුවූ මොහොතේ සිටම විමර්ශන කණ්ඩායම් තුළ සිටි ඇතැම් නිලධාරීන් මෙය හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ වැඩක් බව පෙන්වීමට දැඩි උත්සාහයක  ගත් බවය.

සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායම විසින් මෙම ඝාතන සිදු කළ බවට තහවුරු කෙරෙන බුද්ධි තොරතුරු පවතිද්දී, ඒවා ක්‍රමානුකූලව යටපත් කර “අජන්තන්” වැනි පුද්ගලයින් දෙසට අවධානය යොමු කරවීමට කටයුතු කළ ආකාරය ඔහු විස්තරාත්මකව හෙළි කළේය.

මේ සාක්ෂිකරුට එරෙහිව  මේ වන විට බරපතළ තර්ජන එල්ල වෙමින් පවතින බව   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වූයේය.

  • සාක්ෂිකරු සලකුණු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  කරුණු දක්වන  පරිදි, ඔහු සතු මෙම තීරණාත්මක තොරතුරු රහස් පොලිසියට ලබා දීම වැළැක්වීමට හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු සෘජුවම මැදිහත් වී ඇත.
  • එම නිලධාරියා සාක්ෂිකරු හමුවී, මෙම කරුණු හෙළි නොකර සිටීම සඳහා විශාල මුදලක් ලබා දීමටත්, ඔහුට සහ පවුලේ අයට විදේශගත වීමට අවශ්‍ය පහසුකම් සලසා දීමටත් පොරොන්දු වී තිබේ.
  • සාක්ෂිකරු අල්ලස් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර සත්‍යය හෙළි කිරීමට සැරසෙන විට, එම බුද්ධි නිලධාරියාම ඔහුට මරණීය තර්ජන එල්ල කර ඇත. එහිදී වඩාත් භයානක කරුණ වන්නේ, එම සාක්ෂිකරු සන්තකයේ “අයිස්” (Methamphetamine) මත්ද්‍රව්‍ය ඇති බවට පෙන්වා ඔහුව අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් සිරගත කරන බවට තර්ජනය කිරීමය. මෙරට නීතියට අනුව අයිස් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ළඟ තබා ගැනීම මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බැවින්, සාක්ෂිකරු නිහඬ කිරීමට මෙම බියගැන්වීම යොදාගෙන තිබේ.
  • රහස් පොලිසිය වාර්තා කරන පරිදි, මෙම තොරතුරු හෙළි කිරීමෙන් පසු සාක්ෂිකරුගේ ජීවිතයට දැඩි අවදානමක් මතු වී ඇත. කෝවිල්කුලම් හමුදා බුද්ධි කඳවුරට අනුයුක්ත පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් සාක්ෂිකරු යන එන මඟ ලුහුබැඳ ගොස් ඇති බවට සත්‍යාපිත තොරතුරු ලැබී ඇත.
  1. හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි පිළිබඳ තොරතුරු ලබා දුන් සාක්ෂිකරුට බලපෑම්

අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවලට අනුව මෙම සාක්ෂිකරු හමුදා බුද්ධි අංශයේ තොරතුරුකරුවන් මෙහෙයවන්නෙකු (Handler for Military Intelligence Informants) ලෙස කලක් කටයුතු කළ පුද්ගලයෙකි. ඔහු බුද්ධි අංශ ජාලය තුළ සක්‍රීයව ක්‍රියා කළ අයෙකු බැවින්, බුද්ධි නිලධාරීන් සහ ඔවුන්ගේ තොරතුරුකරුවන් අතර පැවති සබඳතා පිළිබඳව සෘජු දැනුමක් ඔහු සතු විය. ආරක්ෂක හේතූන් මත සාක්ෂිකරුගේ නම ප්‍රසිද්ධ කර නොමැති වුවද, ඔහුගේ වෘත්තීය පසුබිම අධිකරණය හමුවේ තහවුරු වූයේය.

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි (රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී) පාස්කු ප්‍රහාරයට පෙර සිදු කළ සැකකටයුතු ක්‍රියාකලාපයන් පිළිබඳව මොහු රහස් පොලිසියට සාක්ෂි ලබා දුන්නේය. එම සාක්ෂිවලින් හෙළිවන සිදුවීම්වල කාල වකවානුව  2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවීමට පෙර අවධිය  තෙක්ම විහිදී තිබිණි.

බුද්ධි තොරතුරුකරුවන් මෙහෙයවන්නෙකු ලෙස තමා කටයුතු කරන විට, සහරාන් හෂීම්ගේ කණ්ඩායම හෝ ඔවුන්ට සම්බන්ධ පිරිස් පිළිබඳව ඉහළ නිලධාරීන් දැනුවත් වී සිටි ආකාරය සහ ඒ සම්බන්ධයෙන්  කටයුතු කළ ආකාරය  පිළිබඳ සාක්ෂි ඔහු සතු බව අධිකරණය ඉදිරියේ ප්‍රකාශයට පත් විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කරන අන්දමට   මෙම සංවේදී තොරතුරු හෙළි කිරීමත් සමග මෙම සාක්ෂිකරුගේ ජීවිතය දැඩි අවදානමකට ලක් වී තිබේ.

2026 මාර්තු 12  දින  සාක්ෂිකරුගේ බිරිඳ පදිංචිව සිටින නිවස අසලට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සාක්ෂිකරු නිවසේ සිටින්නේදැයි විපරම් කරමින් සැකකටයුතු ලෙස හැසිරී ඇත.

මෙසේ පැමිණි පුද්ගලයන්ගෙන් එක් අයෙකු මීගමුව හමුදා බුද්ධි උප ඒකකයට අනුයුක්ත නිලධාරියෙකු බවට පසුව හඳුනාගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් එම නිලධාරියාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

මෙම ක්‍රියාවේ ප්‍රධාන අරමුණ වන්නේ සාක්ෂිකරු අධිකරණය හමුවේ ලබා දීමට නියමිත වැඩිදුර සාක්ෂි වළක්වාලීම සහ ඔහුව මානසිකව බිය වැද්දීම බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

  1. සහරාන්ගේ කණ්ඩායමට ගිනිඅවි සැපයූ බවට සාක්ෂි දුන් පුද්ගලයාට පොලිස් තර්ජන

සහරාන් හෂීම්ගේ ජාතික තවුහිත් ජමාත් (NTJ) සංවිධානයේ අන්තවාදී සාමාජිකයින්ට හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු ඇතුළු පිරිසක් විසින් ගිනිඅවි සැපයූ බවට මෙම සාක්ෂිකරු තොරතුරු අනාවරණය කර තිබුණි.

ඔහු  සිවිල් පුද්ගලයෙකි.  ඔහු විසින් ලබා දී ඇති සාක්ෂිය අතිශය තීරණාත්මක වන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් සහ රජයේ ආරක්ෂක අංශවල ඇතැම් සාමාජිකයින් අතර පැවති බව කියන සබඳතාවයක් පිළිබඳව ඉන් අනාවරණය වන බැවිනි. මෙම අවි ආයුධ පසුව විවිධ අපරාධ සහ මනුෂ්‍ය ඝාතන සඳහා යොදාගත් බවට සැක කෙරිනි.

මේ වන විට මෙම සාක්ෂිකරුට එරෙහිව  මඩකලපුව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් බරපතළ මරණීය තර්ජන එල්ල වෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කීවේය

සාමාන්‍යයෙන් සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සැපයිය යුත්තේ පොලිසියය.  එහෙත්  මෙම සිදුවීමේදී  සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇත්තේ  මඩකලපුව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් තිදෙනෙකු විසින්මය.

  • ඊට සම්බන්ධ චෝදනා එල්ල වන්නේ  මඩකලපුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) කාර්යාලයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු,
  • එම කාර්යාලයේම පොලිස් සැරයන්වරයෙකු,
  • මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ (DCIB) උප පොලිස් පරීක්ෂකවරයෙකු, වෙතය.

තර්ජනය කිරීමට ප්‍රධාන හේතු ලෙස අනාවරණය වී ඇත්තේ  හමුදා බුද්ධි අංශ සහ සහරාන්ගේ කණ්ඩායම අතර පැවති ගිනිඅවි ගනුදෙනුව පිළිබඳ සාක්ෂි ඉවත් කර ගැනීම හෝ වෙනස් කිරීම සඳහා සාක්ෂිකරුට බලපෑම් කිරීමය.

සාක්ෂිකරු පවසන පරිදි, මෙම නිලධාරීන් විසින් ඔහුව නීති විරෝධී ලෙස රඳවා තබා ගන්නා බවට සහ වෙඩි තබා ඝාතනය කරන බවට තර්ජනය කර ඇත.

එමෙන්ම මෙම නිලධාරීන් සාක්ෂිකරුගෙන් අවස්ථා කිහිපයකදී බලහත්කාරයෙන් මුදල් සහ භාණ්ඩ ලබාගෙන ඇති බවටද තොරතුරු හෙළි වී තිබේ. මෙය හුදෙක් බිය ගැන්වීමක් පමණක් නොව, රාජකාරි බලය අනිසි ලෙස යොදා ගනිමින් සිදු කළ මංකොල්ලයක් ලෙසද සැලකිය හැකිය.

මෙම සාක්ෂිකරුට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් දැනටමත් බහුවිධ පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර, රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ මොහුට කඩිනම් ආරක්ෂාව අවශ්‍ය බවය. මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර   නියෝග කළේ මෙම පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තා කරන ලෙසය.

 4 . ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුම අනාවරණය කළ සාක්ෂිකරුට එල්ල වූ ප්‍රහාරය

මේ තර්ජනයට ලක් වන්නේ  පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර, ඒ පිළිබඳව හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු දැන සිටි බව හඟවන තොරතුරු  අනාවරණය කළ සාක්ෂිකරුය. අනන්‍යතාවය සඟවා ඇති මෙම පුද්ගලයා හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු හෝ එම අංශ සමඟ සමීපව කටයුතු කළ අයෙකි. මෙම සිව්වන සාක්ෂිකරු පිළිබඳ කරුණු අතිශය තීරණාත්මක වන්නේ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ අවස්ථාවන් මඟහැරී ගියේ කෙසේද යන්න පිළිබඳව ඔහු සෘජු ලෙස කරුණු අනාවරණය කරන බැවිනි.

ඔහු ලබා දුන් සාක්ෂිවල ප්‍රධාන කරුණු දෙකක් අන්තර්ගතය.

  1. ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුම: පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර, හමුදා බුද්ධි අංශයේ නිලධාරියෙකු විසින් සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳව මොහු සාක්ෂි ලබා දී ඇත. එම නිලධාරියාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වී ඇත්තේ, ඉදිරියේදී මෙවැනි බෝම්බ ප්‍රහාරයක් සිදුවීමට නියමිත බව බුද්ධි අංශ කලින්ම දැන සිටි බවයි.
  2. දේශපාලන සහ බුද්ධි අංශ සබඳතා: මහාචාර්ය රොහාන් ගුණරත්න සහ හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) අතර පැවති හමුවීම් පිළිබඳවද මොහු තීරණාත්මක තොරතුරු හෙළි කර තිබේ.

සාක්ෂිකරු මුළා කර පහරදීම සහ තර්ජන

මෙම තොරතුරු හෙළි කිරීම හේතුවෙන් සාක්ෂිකරුට එල්ල වී ඇති තර්ජන හුදු වාචික බිය වැද්දවීම්වලින් එහා ගිය සෘජු ප්‍රහාරයන් බව සත්‍යාපනය වී ඇති ආකාරය අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව අධිකරණයට දැන්වූයේය.

සාක්ෂිකරු රවටා වාලච්චේන / කවට්ටමුනෙයි ප්‍රදේශයට ගෙන්වා ගැනීම සඳහා ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් භාවිත කර තිබේ. එම ගිණුම හරහා “මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ තොරතුරු ලබා දෙන බව” පවසා ඔහුව අදාළ ස්ථානයට කැඳවා ඇත.

ඔහු එම ස්ථානයට පැමිණි විට පිරිසක් විසින් ඔහුට දරුණු ලෙස පහර දී (Beaten up) තිබේ. මෙම පහරදීම සිදු කළ පුද්ගලයන් කවුරුන්දැයි රහස් පොලිසිය දැනටමත් නමින් හඳුනාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද (Case No: B/344/24) විභාග වෙමින් පවතී.

මෙම පහරදීම පිටුපස හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරිකයෙකු (Operative) සිටින බවට සාක්ෂිකරුගේ පියා විසින්ම පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇත. දැනට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන පාස්කු ප්‍රහාර නඩුවට අදාළව මොහුගේ සාක්ෂිය අතිශය තීරණාත්මක වන බැවින්, ඔහුට එල්ල වන මෙම ප්‍රහාරයන් විමර්ශන අඩාල කිරීමේ උත්සාහයක් ලෙස අධිකරණය නිරීක්ෂණය කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්  ඉසුරු නෙත්තිකුමාර අවධාරණය කළේ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ මෙම තර්ජන පිළිබඳව විමර්ශනය කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට පූර්ණ බලතල පවතින බැවින් අමුතු අධිකරණ නියෝග අනවශ්‍ය බවය.

අධිකරණ කටයුත්තකට  බලපෑම් කිරීම සඳහා  රාජ්‍ය  යාන්ත්‍රණය  තුළ සිටින පිරිස්ම සාක්ෂිකරුවන් බිය ගැන්වීම අතිශය බරපතළ අපරාධයක් බව  මහේස්ත්‍රාත්වරය පෙන්වා දුන්නේය.  අධිකරණ කටයුතු ක්‍රියාත්මක වෙමින් ඇත්තේය. රටම මේ ක්‍රියාවලිය දෙස සංවේදීව බලා සිටින බව අවධාරණය විය යුතුව ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉතිහාසය ජීවමාන කරමින් නවීකරණය වන  මරදාන දුම්රිය ස්ථානයේ අපූරු කතාව…

Next Post

කිසිදා නොමැරෙන බව සිතන මිනිස්සුන්ට දැනුන මරණ බය පිළිබඳව කතාවක මුල මැද සහ අග…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.