ඉඳුනිල් කහටපිටිය –
මෙරට වාණිජ බැංකු සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් මගින් වාහන මිලදී ගැනීම සඳහා ලබාදෙන ලීසිං සහ අනෙකුත් ණය පහසුකම් මෙන්ම රන් භාණ්ඩ ඇපයට තබා ලබාගන්නා ණය සඳහා පනවා තිබූ සීමාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.
මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් ගන්නා ලද මෙම තීරණය 2026 මැයි 25 වන දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරේ. මෑත කාලීනව වාහන මූල්‍යකරණය (Vehicle Financing) සහ රන් ණය පහසුකම් වේගයෙන් වර්ධනය වීම හේතුවෙන් මූල්‍ය පද්ධතියේ ඇතිවිය හැකි අවදානම් වළක්වා ගැනීම මෙහි මූලික අරමුණ වී ඇත.
මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් ගන්නා ලද මෙම තීරණයට අදාළ නව රීති මාලාව වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වේ.
වාණිජ වාහන සඳහා 60%ක ලීසිං පහසුකම්
නව සංශෝධනයට අනුව ව්‍යාපාරික සහ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරන වාණිජ වාහන (Commercial Vehicles) මිලදී ගැනීමේදී ලබාගත හැකි උපරිම ණය වටිනාකම් අනුපාතය (Maximum Loan-to-Value) වාහනයේ වටිනාකමෙන් සියයට 60ක් (60%) දක්වා ඉහළ දමා ඇත. මේ හේතුවෙන් ව්‍යාපාරිකයින්ට සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට වාහන මිලදී ගැනීමේදී මූල්‍ය ආයතනවලින් වැඩි ලීසිං ප්‍රතිශතයක් ලබාගැනීමට අවස්ථාව හිමිවන අතර, ඔවුන් අතින් දැරීමට සිදුවන මූලික ගෙවීම සියයට 40ක් දක්වා අඩු වනු ඇත.
මෝටර් රථ සහ SUV සඳහා 40%ක සීමාවක්: ගැනුම්කරු අතින් 60%ක්!
කෙසේ වුවද, සාමාන්‍ය මෝටර් රථ, SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් පෞද්ගලික පාවිච්චිය සඳහා වන වාහන කාණ්ඩ වෙනුවෙන් ලබාදෙන උපරිම ලීසිං සහ ණය පහසුකම් සීමාව වාහනයේ වටිනාකමෙන් සියයට 40ක් (40%) ලෙස නියම කර ඇත.
මෙම රෙගුලාසියට අනුව ලියාපදිංචි නොකළ (Brand New හෝ Reconditioned) හෝ මෙරට ලියාපදිංචි කර වසරකට වඩා අඩුවෙන් භාවිත කළ මෝටර් රථ, SUV සහ ත්‍රිරෝද රථ වැනි වාහනයක් ලීසිං ක්‍රමයට මිලදී ගැනීමේදී, වාහනයේ සම්පූර්ණ වටිනාකමෙන් අවම වශයෙන් සියයට 60ක (60%) මූල්‍ය ප්‍රතිශතයක් ගැනුම්කරු විසින් තමන් සන්තකයෙන් (Down payment වශයෙන්) දැරීමට සිදුවේ.
මූල්‍ය ආයතන මගින් ණය වශයෙන් සැපයිය හැක්කේ ඉතිරි සියයට 40ක මුදල පමණි.
රන් ණය සඳහා සියයට 70ක උපරිම සීමාවක්
මීට අමතරව, බලපත්‍රලාභී බැංකු සහ මූල්‍ය සමාගම් මගින් රන් භාණ්ඩ ඇපයට තබා ලබාදෙන ණය පහසුකම් සඳහා මෙතෙක් පනවා නොතිබූ නව උපරිම සීමාවක් හඳුන්වා දී ඇත. ඒ අනුව රන් භාණ්ඩවල වටිනාකමෙන් උපරිම වශයෙන් ලබාදිය හැක්කේ සියයට 70ක (70%) ණය මුදලක් පමණි.
2026 මැයි 25 වන දින හෝ ඉන් පසුව අලුත් කරනු ලබන පවත්නා ණය පහසුකම් සඳහා ද මෙම සියයට 70 සීමාව අදාළ වන බව මහ බැංකුව අවධාරණය කරයි.
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි පවතින අස්ථාවරත්වය සහ භූදේශපාලනික ආතතීන් හමුවේ වත්කම් මිල ගණන් වෙනස් වීම නිසා සිදුවිය හැකි අලාභයන්ගෙන් මූල්‍ය ආයතන ආරක්ෂා කරගැනීම සඳහා මෙම උපරිම සීමාවන් පැනවීමට මහ බැංකුවේ සාර්ව විචක්ෂණශීලී අධීක්ෂණ දෙපාර්තමේන්තුව (Macroprudential Surveillance Department) කටයුතු කර තිබේ.
මෙම නව රෙගුලාසි මගින් සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා වන අතරම, වාහන සහ රන් භාණ්ඩ සඳහා සීමාව ඉක්මවා ණය නිකුත් කිරීම පාලනය වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.







