වැළලූ ඉෂාලිනී  හෙට  යළි ගොඩගනී… දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයට  මිනිය  පේරාදෙණියට

බදියුදීන් නිවසේ මෙහකාර සේවයේ යෙදී සිටය දී පිළිස්සී මළ   16 හැවිරිදි ඉෂාලිනි ජූඩ් දැරියගේ මළ සිරුර නිරෝධායන උපදෙස්වලට අනුකූලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සඳහා  පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ රැගෙන යන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකිර්ති   අද  (29) පොලිසියට නියෝග කළාය.

ඒ අනුව ඩයගම පොදු සුසාන භූමියේ තැන්පත් කර තිබෙන මළ සිරුර හෙට (30) පෙරවරු 8.30 ට ගොඩගැනීමට නියමිතය.

මළ සිරුර ගොඩගෙන යළිත් පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් බී වාර්තාවක් මගින් රජයේ අධි නිතිඥ හංස අබේරත්න   නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට අද  (29) කරුණු වාර්තා කළේය.


රජයේ අධි නිතිඥවරයාගේ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකිර්ති  නියෝග කරනු ලැබුවේ වසම භාර ග්‍රාමසේවා නිලධාරිවරයා, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ද සහභාගි කර ගනිමින් නිරෝධායන උපදෙස් වලට අනුකුලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේදි මිය ගිය දැරියගේ සිරුර ගොඩගෙන දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ  දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙසයි.

රජයේ අධිනිතිඥවරයා කරුණු වාර්තා කරන අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා, කොළඹ දකුණ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අජිත් කුමාර, කොළඹ දකුණ ළමා සහ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරික්ෂක ඉනෝකා යන මහත්ම මහත්මීන් අධිකරණයට පැමිණ සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිය ගිය දැරියගේ සිරුර මිහිදන් කර ඇති ඩයගම වත්ත බටහිර කොටසේ පොදු සුසාන භුමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

Exit mobile version