19න් පහළ කාන්තා ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ දී අද ඉන්දියාව සමග තරගවැදුන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 60ක දැවැන්ත පරාජයක් ලැබුවේය.
දැන් තමන් මුහුණ දුන් මුල් තරග දෙකේදී ලද වාර්තාගත ජයග්රහණයන් පිළිබඳ යළි තක්සේරුවකට පැමිණෙන්ට ශ්‍රී ලංකා තරුණ දැරියන්ට සිදුවී ඇත.
කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ය. ඔවුහු මුලින්ම පන්දු රැකීම තේරූහ. ඉන්දියාවේ මුල් පෙළ පිතිකාරිණියන් බිඳ වැටෙද්දී ආරම්භක පිතිකාරිණිය වූ ගොන්ගදි ත්‍රිසා අති විශිෂ්ට පිතිකරණයක නිරත වූවාය. ඇය හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමග පන්දු 44ක දී ලකුණු 49ක් ලැබුවා. අවාසනාවන්ත ලෙස ඇයගෙන් අර්ධ ශතකය ගිහිලිනි.
ඉන්දීය කණ්ඩායමේ පිතිකරණය මුළුමනින්ම ගොනුවන්නේ ගොන්ගදී වටාය. අංක 06 පිතිකාරිනී මිථිලා විනෝද් ලකුණු 16ක ලැබුවා. අනෙක් එකම ක්‍රීඩිකාවත් ලකුණු 15 සීමාව පසු කළේ නැත. ඉන්දීය කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ දී කඩුළු 09කට ලකුණු 118ක් ලැබුවේය.
පන්දු යැවීමේ දී ප්‍රමුදි මෙත්සරා කඩුළු 02ක්, ලිමන්සා තිලකරත්න කඩුළු 02ක්, අසෙනි තලගුනේ කඩුළු 02ක්, රෂ්මිකා සෙව්වන්දි, චමෝදි ප්‍රබෝධා, සහ මනුදි නානායක්කාර එක් කඩුල්ල බැගින් ලැබුහ.
කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකාරිණියන් අන්දමන්ද කිරීමට ඉන්දීය පන්දු යවන්නියෝ සමත් වුහ. රෂ්මිකා සෙව්වන්දි ලකුණු 15ක් ලැබුවා. අනෙක් එක ක්රීඩිකාවකවත් ලකුණු 10 සීමාව ඉක්මවූයේ නැත. පන්දු ඕවර 20 තුළ ශ්‍රි ලංකා ක්‍රීඩිකාවෝ කඩුළු 09ක් දැවී ලකුණු 58ක අන්ත අසරණ ලකුණකට සීමා වූහ. මුල් කඩුළු 4ම දැවී යන්නේ ලකුණු 09ක් තුළය.
පන්දු යැවීමේ දී ඉන්දීය ක්රීඩිකාවේ එකියකට එකියක් නොදෙවෙනි වූහ. ෂබ්නාම් ශකිල් පන්දු ඕවර 4 තුළ ලකුණු 09කට කඩුල්ලකි. එක් නිලකුණු ඕවරයක් ඇය යැව්වාය. පරුනිකා සිසෝඩි පන්දු ඕවර 4 තුළ ලකුණු 07ක් පමණක් දී කඩුළු 02ක් ලැබුවාය. එක් කඩුල්ලක් ලැබුවත් වයිෂ්නාවි ශර්මා පන්දු ඕවර 4 තුළ ලබා දුන්නේ ලකුණු 03කි. එක් නිලකුණු පන්දු ඕවරයකි. වී.ජේ.ජොෂිතා ලකුණු 17කට කඩුළු 03ක් ලැබුවාය. ඇය පන්දු ඕවර 03ක් යවා තිබිණි. ආයුෂි ශුක්ලා කඩුල්ලක් ලැබුවා.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ විශිෂට පිතිකරණයක නිරතවුන ඉන්දීය ආරම්භක පිතිකාරිණිය වූ ගොන්ගදී ත්‍රිෂා ය.







