ශ්‍රියානි විජේසිංහ –
රෝහල් පද්ධතිය තුල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට වසරකට මිලියන 60ක් පමණ රෝගීන් පැමිණෙන බැවින් මෙය බරපතල ගැටලුවක් වී ඇති ඇතැයිද මෙය විසඳුමක් ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනය සඳහා වන නියමු ව්‍යාපෘතියක් දිස්ත්‍රික් දෙකක් පදනම් කර ගනිමින් ක්‍රියාවට නැංවිමට කටයුතු කරන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලීන්ද ජයතිස්ස අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
යම් පුද්ගලයෙක් පදිංචි ප්‍රදේශයේ සිට කිලෝමීටර් දෙක හමාරක් තුළ ඒ අයගේ රෝග පරීක්ෂාවට ප්‍රාථමික සෞඛ්‍ය ඒකක ස්ථාපිත කිරීම කළ යුතු වුවත් එය අභියෝගයක් යැයි ද ඇමැතිවරයා කීවේය.
මේ සඳහා අවශ්‍ය වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය පුහුණු කිරීම අභියෝගයක් වුවත් එය ක්‍රියාවට නන්වන බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා විධිමත් කිරීමේදී ප්‍රජා වෛද්‍ය විශේෂඥ සහ පවුල් වෛද්‍ය විශේෂඥවරුන් බිහි කර ගැනීම වැදගත් බවත් ඇමැතිවරයා කීවේය.
වාර්ෂිකව එක් පුද්ගලයෙක් හයවතාවක් පමණ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන බවත් රෝහල්වල ගොඩනැඟිලි සංඛ්‍යාව කොතරම් ප්‍රමාණයක් පුළුල් කළත් මේ ගැටලුවට පිළිතුරක් ලැබී නොමැති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
2018 වසරේ සිට ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධය සඳහා ලෝක බැංකුවේ හා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක වුවත් මේ වන තෙක් නිසි පිළිතුරක් ලැබී නොමැති බව ද ඇමැතිවරයා කීය.







