09 වැනිදා සිද්ධියට අත්අඩංගුවට ගත් අති බහුතරය ජ.වි.පෙ. නොවන බව පොලිසිය කීවා – විජිත හේරත්

තෙල් ඇමති කිව්වෙත් පල් බොරුවක්... වැලිගම සිද්ධියට ජවිපෙ ප්‍රාදේශිය සභා මන්ත්‍රී සම්බන්ධ නෑ - පොලිසිය පැහැදිලි කළා...

පසුගිය 09 වැනිදා සවස සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා අත්අඩංගුවට ගත් පිරිස අතරින් අති බහුතරය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් නොවන බව පොලිස් වාර්තා තහවුරු කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්  පැවසුවේය.

මෙම අපරාධයට වගකිව යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ බව ප්‍රකාශ කරමින් සෙසු දේශපාලන පක්ෂ කරන චෝදනා සඳහා පැහැදිලි කරගැනීමක් සිදුකර ගැනීමට අද (23) කොළඹ පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර විසින් වැලිගම දී බලහත්කාරයෙන් ඉන්ධන බවුසරයක් ගොඩබෑමේ සිද්ධියට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සම්බන්ධ බව කී කතාව පූර්ණ අසත්‍යයක් බවත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් ලබා දුන් වැරදි තොරතුරක් මත ඇමතිවරයා කළ ප්‍රකාශය  ඉතාම හානිකර එකක් මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ විනි.

එහිදී මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙසේ ද පැවසුවේය.


“ආණ්ඩුවේ මැර කණ්ඩායම්  ගෝල්ෆේස් සාමකාමී උද්ඝෝෂකයින්ට පහර දීමෙන් අනතුරුව පසුගිය 09වැනිදා සවස   බොහෝ තැන්වල ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණා. ගෙවල් ගිනි තැබීම්, විනාශ කිරීම් සිදු වුණා.“

“මේ සිදුවීම් පිටුපස ජනතා විමුක්ති පෙරමුණ ඉන්න බව කියන්න පහුගිය දවස්වල ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් විශාල උත්සාහයක් දැරුවා. ඔවුන් විවිධ අභූත චෝදනා නැගුවා. කිසිදු සාක්ෂියක් තොරතුරක් නැතිව ඒ සියල්ල ජනතා විමුක්ති පෙරමුණ මත පැටෙව්වා. මේ කරුණුවල සත්‍ය අසත්‍යතාව දැනගන්න අපට අවශ්‍ය වුණා. “

“මේ සිදුවීම්වලට අදාළව ජනතා විමුක්ති පෙරමුණේ අය අත්අඩංගුවට ගෙන තිබෙනවාද, චෝදනා තිබෙනවාද, අනෙකත් දේශපාලන පක්ෂවල අය අත්අඩංගුවට ගෙන තිබෙනවාද, ඔවුන්ට චෝදනා එල්ල කර තිබෙනවාද කියන කරුණු පොලිස්පතිවරයාගෙන් දැනගන්න අපට අවශ්‍ය වුණා. “

“මේ සිදුවීම්වලට අදාළ චෝදනා ලැබූ අති බහුතරයක් අපේ පක්ෂයට සම්බන්ධ අය නොවන බව පැහැදිලි වී තිබෙනවා. පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ගෙන් ලැබුණු වාර්තා අනුව මේ අත්අඩංගුවට ගත් අයගෙන් වැඩි පිරිස ජවිපෙට කිසිදු සම්බන්ධයක් නැහැ. ඔවුන් වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධකම් හා බැදීම් ඇති අයයි.. නැතිනම් ඍජුවම සම්බන්ධකම් ඇති අයයි.

නමුත් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී විවිධ ඇමතිවරුන් නම් ප්‍රකාශ කරමින් අපේ පක්ෂයට චෝදනා එල්ල කළා. මේ චෝදනා සම්පූර්ණ අසත්‍යයක්. පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙක් සමග පැවති සාකච්ඡාවේදී මෙය නිරවුල් කරගැනීමට අපට අවස්ථාව ලැබුණා. ඔවුන් විසින් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පිරිස්වල සංඛ්‍යාත්මක දත්ත ඉදිරිපත් කළා.

ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූවන් සම්බන්ධව දේශපාලන භේදයෙන් තොරව නීතිය ක්‍රියාත්මක  කරන ලෙසත් අභූත චෝදනා ඉදිරිපත් කිරීමට ඉඩ නොතබන ලෙසත් අපි මෙහිදී ඉල්ලා සිටියා.

ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළ තීන්දු ගෙන නොමැති බවත් ජවිපෙ සාමාජිකයන් දේශපාලන තීන්දුවක් මත එවැනි කිසිදු ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති බවත් අපි අවධාරණය කළා. ඒ වගේම ආණ්ඩුවේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් විසින් ව්‍යාප්ත කිරීමට උත්සාහ දරන වැරදි මත වෙනස් කිරීමට මැදිහත් වන ලෙස අපි පොලීසියෙන් ඉල්ලා සිටියා.

විජිත හේරත් මන්ත්‍රීවරයා කීවේය.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති  කතා කරමින්

වැලිගමදී ඩීසල් බෙදාහැරීමට බාධා කිරීමට ජවිපෙ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් කටයුතු කළ බවට කාන්චන විජේසේකර තෙල් ඇමතිවරයා මාධ්‍ය හමුවක් පවත්වා කළ කතාව පිළිබඳ පොලිසියෙන්ම ඉල්ලීමක් කර සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගත් බව පැවසුවේය.

තෙල් ඇමතිවරයා එම ප්‍රකාශය කළ  අවස්ථාවේදීත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් තමන්ට කතා කර මේ පිළිබඳ විමසූ බව ඔහු කීවේය.

“අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සිටියේත් තෙල් පෝලිමේයි. මීට අදාළ වීඩියෝ තියෙනවා.   මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයායැයි හිතාගෙන කතා කරන්නේ වෙනත් අයෙකුටයි. ඔහු රතු ටී ෂර්ට් එකක් ඇඳි කෙනෙක්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙනෙක් රතු ටී ෂර්ට් එකක් ඇඳ ගත් පමණින්   ජේවීපී වෙන්නේ නැහැ. එයවත් නොතේරෙන ලෙස කටයුතු කර අවසානයේ රටේ කඩාකප්පල් වැඩ කරන්න යන්නේ ජේවීපී එක බවට මාධ්‍ය තුළ මතයක් හදන්න හදනවානම් එය මුළුමනින්ම වැරදියි. එය නිවැරදි කිරීමට අප මැදිහත්වනවා වගේම එම වගකීම ආරක්ෂා කිරීම නීතිය රකින අයට තිබෙනවා. “

Exit mobile version