ළදරුවාට අමානුෂික ලෙස පහරදුන් මව සහ පහර කෑ ළදරුවා පරිවාස භාරයට

දිනසේන රතුගමගේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාස නවයක කුඩා දරුවකුට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි යන චෝදනාව මත යාපනය පොලීසිය විසින් යාපනයේ මනියතෝට්ටම් ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් කාන්තාව හා දරුවා මේ මස 9 වෙනිදා දක්වා පරිවාස බාරයට පත් කරණ ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා 2 දා පොලීසියට නියෝග කොට තිබේ.

දරුවාගේ මව විසින් දරුවාට අමානුෂික ලෙස පහර දෙන ආකාරය වීඩියෝ කොට යාපනයේ තරුණයින් පිරිසක් එම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලයට එක් කොට තිබූ අතර ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ යාපනයේ නල්ලූර් ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පොලීසිය සමග ගොස් අදාල කාන්තාව හා දරුවා පොලිස් බාරයට ගෙන තිබුණි.

වයස 24 ක් වූ මේ කාන්තාව ත්‍රිකුණාමළයේ පදිංචිකාරියක් වන අතර ඇය විදෙස් ගතව සිට යාපනයට පැමිණ කුලී නිවසක ජීවත් වී තිබේ. ඇගේ සැමියා පවුලේ උදවියට ජීවත් වීම සදහා මුදල් ලබා නොදීමත් ඔහු ආපසු ශ්‍රී ලංකාවට නොපැමිණීමත් නිසා තමන් දැඩි මානසික කම්පනයකට පත්ව සිටින බව ඇය පොලීසියට පවසා තිබේ.

දැනට පරිවාස භාරයේ සිටින එම කාන්තාව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කොට එම වෛද්‍ය වාර්තාව සමග ඇයව මේ මස 9 වෙනිදා යළි අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කොට ඇත.

Exit mobile version