යමක් සඟවා ගිය ඒ මරණය…

මනම්පිටිය නිමල් ජයරත්න –

නොවැම්බර් 13 වෙනිදා වැලිකන්දේ සිදුවූ ගිනි ගැනීමක් නිසා දින 12ක් තිස්සේ පොලොන්නරුව රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි තරුණි කාන්තාවක් මිය ගියාය.

වැලිකන්ද පොලිසිය  අපට කීවේ පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානයේ නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ මහ  රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 වියැති  විවාහක තරුණියක් මිය ගිය බවය. ඒ පසුගිය 25 දා සවසය.

මෙම අවාසනාවන්ත අනතුරෙන් මියගොස්  සිටියේ වැලිකන්ද සඳුන්පිටිය  අංක 68 ලිපිනයේ පදිංචිව සිටි  බී.ජී. අයේශා කුමුදුනි බව පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කළේය.


ඒ තොරුතුරු ඔසසේ වැලිකන්දේ මේ ගෙදර සොයාගෙන ගියෙමි.  මේ මස 13 දා ඇය නිවසේ  මුළුතැන් ගෙයි තිබූ  ගෑස් උදුන දැල්වීම්ට යෑමේදී   ගෑස් සිලින්ඩරය ගිනිගෙන ඇති බව   පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී යැයි පොලිසිය එදා පැවසුවේය.

තරුණියගේ පියා පැළලටියාව  අංක 481 ලිපිනයේ පදිංචි 51 වියැති බී.ජී. ජයසූරිය ය. ඔහු හඬා වැටෙමින් කී කතාව පටිගත කරගත්තෙමි. ඒ තාත්තා කීවේ අයේෂා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී ඇය ඔහුට කී කතාවය.

“ ගෑස් ලිප තුන් හතර පාරක් පත්තු කරන්න හැදුවත් පත්තු වෙලා නෑ. ඒක නිසා ගිනි කූරක් ගැහුවා කියලා දුව කිව්වා. ඒ එක්කම තමයි ගෑස් ලිප ඇවිලිලා දුව ගිනි අරන් තියෙන්නෙ…“

මේ ඒ තාත්තා කී කතාවය.

අසල්වාසීහු මේ අනතුර ගැන කතා කීහ. ඔවුන් කීවේත් ගෑස් අනතුරක් ගැනය.  නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවේ සිදු වූ මෙම අනතුරින් මුළුතැන් ගෙය පුරා ඇති වූ ගින්නත් නිවා දමා අයේෂා වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ ආකාරය ඔවුහු කීහ.  එතැනින් පොළොන්නරුව රෝහලටත් පොළොන්නරුවෙන් කොළඹ   ජාතික රෝහලටත් මාරු කළ ඇය අවසානයේ ඒ අනතුරින්ම මෙළොව හැර ගියාය.

අපට ඇසූ ඇසූ කෙනා කීවේ ගෑස් අනතුරක කතාවකි.  වැලිකන්ද පොලිසියත් ඒ කතාව පසුගිය 26 දා උදෑසන තෙක් කීවේය.   අලුත ගෙනා ගෑස් සිලින්ඩරයෙන් සිදුවූ මෙම අනතුර ගැන    විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස  ඒ තාත්තා එදා උදේ රටෙන් ඉල්ලා සිටියේය.   අයේෂා කුමුදුනි තරුණියගේ අවසන් කටයුතු 26  වෙනිදා පැළෑටියාව  පොදු සුසාන භූමියේදී  සිදු විය.

අපි මේ බව වාර්තා කළෙමු. පාර්ලිමේන්තුවේ පෙරේදා ගෑස් අනතුරු ගැන විශාල සංවාදයක් ඇතිවිය. එහිදී පොලොන්නරු දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් වැලිකන්දේ අයේෂා ගේ මරණය ගැන පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.  ඒ සංවාදය ඇති වන්නේත් මිය ගිය තරුණිය ගෑස් අනතුරකට ලක් වූ බවට වූ දැනුම මතය.

මේ අතර පසුගිය 26 වැනිදා සවස පොලිසිය සහමුලින්ම වෙනස් ප්‍රකාශයක් කළේය. ඒ මේ තරුණිය මිය ගොස් තිබුණේ ගෑස් අනතුරකින් නොවන බවය.  පොලිසිය කීවේ ඇය ඇඟට ගිනි තබාගෙන සිය දිවි හානිකරගත් බවය. හේතුවත්  ඔවුන් සොයා ගෙන තිබිණි. ඔවුන්ට අනුව හේතුව සිය සැමියා සමග වූ ආරවුලකි.

මරණයට පෙර සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය අයේෂාගෙන් කටඋත්තරයක් ගෙන තිබිණි. ඇය පසුගිය 17 දා මරදාන පොලිසියට කියා තිබුණේත් පියා අපට කී කතාවමය.  මාළු ව්‍යාංජනයක් ලිප තබා ගිනි ඇවිලවීමට උත්සාහ කළත්  නොහැකි වූ නිසා ගෑස් ලිප පත්තු කරගැනීමට ගිනි කූරක් දැල් වීමෙන් ඇති වූ ගින්න  ගැන ඇය දුන් කටඋත්තරය තවමත් මරදාන පොලිසියේ තිබේ. සතියකටත් වඩා වැඩි කාලයක් ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ටත් ඇය කියා ඇත්තේ මේ කතාවමය

මරණ පරීක්ෂණයෙන් කීවේ ගිනිගෙන ඇති වූ තුවාල ආසාදනය වීමෙන් මෙම මරණය සිදු වූ බවය.  මේ කිසිවක සියදිවි හානිකරගැනීමක් ගැන සටහනක් නොතිබිණි.

එහෙත් තවමත් යෞවනයේ ගතකරන මේ තරුණ කාන්තාව සිය සැමියා සමග ඇති වූ හිත් අමනාපයක් ප්‍රකාශ කිරීමට “ බූමි තෙල් දමාගෙන ගිනි තබා ගන්නවා “ යැයි යැවූ වට්ස් ඇප් පණිවිඩයක් මත පමණක් පිහිටමින් පොලිසිය මේ නිවේදනය නිකුත් ඇති බව දැන් සැලවන්නේය.  පොලිසිය මේ සැකය මත පදනම් වෙමින් පරීක්ෂණ මෙහෙයවන්නේ සිද්ධිය වී  දෙසතියකට පසුවය.

දැන් වැලිකන්ද පොලිසිය ගෑස් ලීක් එක්ක ගැන කියන්නේ නැත. ඊයේ අනෝරා වැස්සේ  ඒ තාත්තා හමුවීමට වැලිකන්ද සඳුන්පිටිය ගම්මානයට ගියෙමි.

දැන් ඒ තාත්තාත් ගෑස් අනතුරක් ගැන කතා කරනනේ නැත. ගෑස් ගැන තබා ඔහු මාධ්‍යයට වචනයක්වත් කියන්නටත් සූදානම් නැත.

“ දැන් දුව නෑ…. ඔයාලා එක්ක දැන් ඔය ගැන මොනවා කතා කරන්න ද?“  ඔහු එසේ පැවසුවේය.

ඒ වැස්සේම ආපසු පැමිණියෙමි.

කතාව නිමිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිතාගන්නා දෙයක් හිතාගැනීම ඔබට බාරය.

 

Exit mobile version