“කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

හරීන් - මනූෂ ඩබල පතුරුගසන විට  ඔබට මගහැරෙන බිහිසුණු ‘ටිරාන් සත්‍යය’

සනත් බාලසූරිය-

ඊයේ  දින පත්කරන ලද කැබිනට් මණ්ඩලය නමින් හඳුන්වන අටමගලයෙහි ඔබ සියලු දෙනාගේ ප්‍රියතම බයිට් එක වී ඇත්තේ හරීන් – මනූෂ දෙදෙනා   බව පැහැදිළි ය.

එය තේරුම් ගැනීම අපහසු නැත. මේ දෙදෙනා පසුගිය දා පාර්ලිමේන්තුවේ ද ඉන් පිටත ද හැසිරුණු, කතාකළ හැටි ගැනත්, දැන් මේ ගෝඨා – රනිල් ආණ්ඩුවේ කැබිනට්ටුවට රිංගීම ගැනත් මතුපිටින් බැලූ කල ඔබට දෙස් දෙවොල් තියන්නට, උසුළු විසුළු කරන්නට, සාප කරන්නට, ගරහන්නට ඇතිතරම් කාරණා තිබෙන බව ඇත්ත ය.

එහෙත් ඔබ මේ කැබිනට් පත්කිරීම්වල මදක් ගැඹුරට කැන බැලුවොත්, එහි ඇති සැබෑම දේශපාලන දිශානතිය පෙන්වන උප්පරවැට්ටිය, වංචාව හා තිරිංගය විදහා දක්වන පත්කිරීම මේ මතුපිටින් අතගාන කිසිවක් නොවන බව ඔබට වැටහෙනු ඇත.

මේ කැබිනට් පත්කිරීම්වල ඇත්තම දේශපාලන උප්පරවැට්ටිය වන්නේ ටිරාන් අලස් ය.


සදහටම ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පමණක්ම සිටි, අතේ ඇඟිලි ගණනින් ගිනිය හැකි දවස් ගණනක්වත් පාර්ලිමේන්තුවේ කතාකරලාත් නැති ඔහුට දී ඇති ඇමැතිකම දෙස බලන්න.

පොහොට්ටුවේ ජාතික ලයිස්තු මන්ත්‍රී ටිරාන් අලස් රනිල් වික්‍රමසිංහ අගමැතිකම දරන කැබිනට් මණ්ඩලයේ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැතිවරයා ය.

ඒ අනුව රනිල්ගේ ආණ්ඩුවේ පොලීසිය අයත් වන්නේ ටිරාන් අලස්ට ය.

කවුද මේ ටිරාන් අලස්?

මේ වනවිට මේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ද රටේ අගමැති ද වන රනිල් වික්‍රමසිංහගේ ජම්මාන්තර වෛරක්කාරයෙකි.

ටිරාන්ට කිසිදා දේශපාලන ප්‍රතිපත්තියක් තිබුණේ නැත. පාර්ලිමේන්තුවේ අවුරුදු ගාණක් ගොළුවෙක් මෙන් සිටීමට අමතරව ඔහුගේ අනෙක් දේශපාලන සලකුණ ප්‍රතිපත්ති විරහිතකමයි.

එහෙත් ඒ අතර ඔහුට එක අනම්‍ය ප්‍රතිපත්තියක් තිබේ. ඒ ජම්මාන්තර රනිල් විරෝධය යි.

මා එහි අගමුල දන්නේ එක්තරා අරබුද සමයක ටිරාන් අලස්ගේ පියා වූ ආර් අයි ටී අලස් මහතා විදුහල්පති කම දැරූ ඩී එස් සේනානායක විදුහලේ අධ්‍යාපනය ලැබූ, මාගේ අවසන් පාසල් වසරේ දෙකේ දී පමණ මෙන්ම ජනමාධ්‍යවේදියකු වූ පසුවත් අලස් සර් සමග යම් පමණක සම්බන්ධයක් තිබූ පුද්ගලයෙක් ලෙස ය.

අප ජනමාධ්‍ය සංගම්වල ක්‍රියාකාරීව සිටි සමයේ, එනම් 2009 ජනවාරියට පෙර වසර දෙක තුනක කාලයක්, විපක්ෂ දේශපාලකයකු වශයෙන් ටිරාන් අලස් හඳුනාගෙන සිටියෙමි. එහෙත් ඔහුත් මාත් ඩී එස් බැඳීම සහිතව ටිරාන්ට හඳුන්වා දුන්නේ අලස් සර්ම ය. ඒ 2008 අවුරුද්දේ ය. විද්වද් වෘත්තිකයන්ගේ සංගමය (හෝ එවැනි කිසියම් සංගමයක්) විසින් සංවිධානය කරන ලද කිසියම් දේශපාලන වැඩසටහනකදී එක් පසෙකින් රනිල් එම වැඩසටහන අමතා කතාකරන විට ජනමාධ්‍ය සමාජය වෙනුවෙන් කතාකළේ මා ය.

එම අවස්ථාවට පැමිණ සිටි අලස් සර් මගේ අතින් අල්ලාගෙන කතාකරන ගමන්, එහි සිටි ටිරාන්ට ද මා හඳුන්වා දුන්නේ ය.

“මං අඳුනනවනෙ. අපි කාලයක් තිස්සෙ වැඩවලදි හමුවෙන අයනෙ.” ටිරාන් කීවේ ය.

“මේ පුතත් ඩී එස් කියල දන්නවද?” අලස් සර් ටිරාන්ගෙන් ඇසුවේ ය.

“නෑනෙ, ඒක මං දන්නෑ. සනත් කවදාවත් කියලත් නෑනෙ.” ටිරාන් නලල රැළිනංවා කීවේ ය.

“එහෙනම් දැන් ඩීඑස් දරුවො වගේ ආයෙත් පාරක් අඳුනගන්න!” අලස් සර් සිනාසෙමින් කීවේ ය.

“පුතා, ඩී එස් දරුවො කවුරුත් මට මගෙම දරුවො වගේ. ඒ අය කොහෙ හිටියත් තම තමන් ඩී එස් දරුවො විදියට එකිනෙකා අතර බැඳීමෙන් ඉන්නව දකින්න මං කැමතියි.” ටිරාන් ඉවත ගියපසු අලස් සර් මගේ අත අල්ලාගෙන කීවේ ය. අලස් සර් දැන් ජීවතුන් අතර නැති බැවින්, එදා අප අතර සිදුවූ කතාබහ ගැන වෙන කිසිත් නොකියමි.

එහෙත් ’80 ගණන් මුල හරියේ රනිල් අධ්‍යාපන ඇමැති වූ කාලයේ අලස් සර්ට තමන් ‘හදාවඩාගත් පාසල’ ලෙස සැලකූ ඩී එස් එක හැරදමා යන්නට සිදුවී තිබිණි. මා හයේ පන්තියට ඇතුළත් වූයේ අලස් සර් පලවාහරින ලද ඩීඑස් එකකට ය. අලස් සර් පලවා හැරියේ රනිල් ය යන්න එකල පාසල පුරාත්, සිසු-ගුරු-දෙමාපිය කව පුරාත් ඉතාම දැඩිව මුල් අල්ලා තිබූ මතය යි.

එහෙත් මගේ අවසන් පාසල් වසර දෙකක පමණ කාලයේ දී ආර් ප්‍රේමදාසගේ අනුග්‍රහයෙන් අලස් සර් නැවතත් ඩීඑස් එකේ විදුහල්පතිවරයා ලෙස පැමිණියේ ය.

අතිශය කැලඹිලි සහගත ඒ යුගය ගැන මට කියන්නට වෙනත් කතාවක් ඇතිනමුත් එය මෙතැනට අදාළ නැත.

දැන් නැවතත් ටිරාන් වෙත හැරෙමු.

දේශපාලන වශයෙන් මොනතරම් ප්‍රතිපත්ති විරහිත වුවත්, සිය පියානන් සම්බන්ධ ඉහත හේතුව නිසා ටිරාන්ට රනිල් සම්බන්ධයෙන් දැඩි විරෝධයක් තිබේ.

දැන් රනිල්ගේ ආණ්ඩුවේ පොලීසිය භාර ඇමැතිවරයා ටිරාන් ය.

පසුගිය කාලාන්තරයක් තිස්සේ රාජපක්ෂලා විසින් සිදුකරන ලද අපරාධ දූෂණ වංචා පැත්තකින් තියමු. යහපාලන නාඩගමක් රඟදක්වමින් සිටි රනිල් ඒ කිසිවකට එරෙහිව කළ දෙයක් නැත. කරන්නට හැදූ ආයතනවල ද කකුලෙන් තීරණාත්මක ලෙස ඇද්දේ රනිල් ය.

එහෙත් දේශපාලන මිනීවලක සැතපී සිටි රනිල් මේ වෙලාවේ එකම එක ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක් පමණක් අතතබාගෙන මිනීවලෙන් නැගිට අගමැති සූට්එක ඇඳ පැමිණ සිටී‍‍.

රනිල් එසේ නැගිට ආවේ සිය හයියෙන් නොව තනිකරම රාජපක්ෂලාගේ ම කට්ටාඬිකම් – හදිහූනියම් හේතුවෙනි.

කොච්චර කට්ටාඬිකම්වලින් දැපනේ දමාගත්තත්, රනිල් යනු මේ වෙලාවේ නැතිවන්නට දෙයක් නැති නිසා මොන ගිනිවිජ්ජුම්බරයක් අල්ලද්දැයි අර කට්ටාඬිකම් කළ රාජපක්ෂලාටත් ෂුවර් නැති චරිතයකි.

මයිනාගෝගමට හා ගෝටාගෝගමට ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කිරීමත්, ඒ ඔස්සේ මුළු රටම ගිනිතැබීමත් ගැන නිකමටවත් රනිල් පොලීසිය යොදාගෙන යුක්තියක් සාධාරණයක් ඉටුවන පරිදි විමර්ශන කරන්නට හැදුවොත්, දැන් ඒකට හරස්කපන නියම බහිරවයා පොලීසිය භාර ඇමති ලෙස රාජපක්ෂලාම ඒ අමාත්‍යාංශයේ දොරකඩ ගෙනත් ඉන්දවා සිටින්නේ ය.

ඒ රනිල් හා ජම්මාන්තර වෛරය මිස වෙනත් කැපීපෙනෙන ප්‍රතිපත්තියක් නැති ටිරාන් අලස් ය.

මෙය නිසැකව ම දේශපාලන ගේමකි.

මේ ගේම් එක ගෝඨා නම් දේශපාලන අඳබාලයාට වඩා, මේ මොහොතේ ගෝඨාටත් ගේම ඉල්ලන මහින්ද කඳවුරේ වැඩකි‍.

‍ඇත්තටම නම් මේ පසුපස ඉන්නේ රෝහිණි කුමාරි විජේරත්නගේ Rohini Wijeratne Kavirathna මසුරන් වචනවලින් කියනවා නම් ‘කළුපාට කුරුල්ලෙකි.’

රෝහිණි විජේරත්න නියෝජ්‍ය කතානායක තනතුරෙන් පරාජය කරමින් මේ කළුපාට කුරුල්ලා රනිල්ටත් ගෝඨාටත් ගේම දුන්නා පමණක් නොව ‘තමුසෙලා මොන නාඩගම නැටුවත් පාර්ලිමේන්තුවේ බහුතර පොහොට්ටු බලය තියෙන්නේ අපේ අතේය’ යි සංඥාවක් ද දුන්නේ ය.

දැන් ඇමැතිකම් දීම නම් දේශපාලන සූදුවේදීවත් කිසිම තැනක නම නොකියැවුණු ටිරාන් අලස් නම් ‘පාර්ලිමේන්තු ගොළුවා’ පොලිස් ඇමැති කර රනිල්ට තවත් පොල්ලක් හරස්කර තිබේ.

එක්කෝ අනුන්ගේ මගුලක මනමාලයාට ඇන්දා නම් රනිල් මේවා තේරුම්ගත යුතු ය.

‍නැතිනම් අපවත් මේවා දැනගෙන සිටිය යුතු ය.

එතකොට අඩු තරමින් වුවමනාවට වඩා අඬන්නේ නැතිවවත් ඉන්නට හැකිවන්නේ ය.

හරීන්ලා මනූෂලා විතරක් බයිට් කරමින් ආතල් ගන්නාවිට අපට මගහැරෙන්නේ මේ වාගේ කටුක යථාර්ථයන් ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


( මුහුණු පොතෙන් උපුටා ගැනුණි)

Exit mobile version