සෑම ඡන්ද දායකයෙකුටම මැකෝගෙන් බනිස් ගෙඩියක් හා කුඩා බීම බෝතලයක්

මැතිවරණ කොමිසමේ මෙහෙයවීමෙන් අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථානයේදී අද (7) පැවති පෙරහුරු ඡන්ද විමසීමේ දී ඡන්ද 239ක් ප්‍රකාශ වී ඇති අතර ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි සෑම ඡන්ද දායකයෙකුටම බනිස් ගෙඩියක් හා කුඩා බිම බෝතලයකින් කොමිෂන් සභාව සංග්‍රහ කොට ඇත.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කරමින් එම උපදෙස්වලට අනුකූලව ඉදිරි මහමැතිවරණය පැවැත්වීමට සැලසුම් කිරීම සඳහා පෙරහුරු ඡන්ද විමසීම සිදු කළ අතර ඊට මැතිවරණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශය හා ආරක්ෂක අංශවලින් නිලධාරීන් ග්‍රාම සේවක මහතුන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.

ඡන්දය ප්‍රකාශ කිරීම අද පෙරවරුවේ 10.20 ට ආරම්භ වී 12.20 ට පමණ වන තෙක් පුරා පැය තුනක් පැවැත්වූයේ සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමිනි.


ඡන්ද මධ්‍යස්ථානය වෙත ඇතුල් වන ප්‍රධාන දොරටුව අසල ජල කරාමයක් ස්ථාපිත කර තිබූ අතර සෑම ඡන්ද දායකයෙක්ම එම ජල කරාමය වෙත ගොස් එහි තබා ඇති සබන් හෝ වෙනත් විෂ බීජ හරණ දියරයක් යොදා දෑත් පිරිසිදු කරගත යුතුය.

ඡන්ද මධ්‍යස්ථානය වෙත ඇතුල් විය හැක්කේ ප්‍රධාන දොරටුවේ සිටින නිධාරීන් ඡන්දදායකයාගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමෙන් අනතුරුව ය. ඡන්ද මධ්‍යස්ථානය වෙත ඇතුළු වීමට පෝලිම් ගන්නා තැන සිට ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය පාවිච්චි කර ප්‍රධාන දොරටුවෙන් පිටව යන තෙක් මීටරයක දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු කළ යුතු බව එහි නිලධාරීන් උපදෙස් ලබා දීමත් සිදුකළේය.

ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි සියලු දෙනා මුඛ ආවරණ පැළඳ පැමිණි අතර ඔවුන් අතැතිව විශේෂ ඡන්ද කාඩ්පතක් තිබුණි. එය මෙම පෙරයුරුව වෙනුවෙන්ම මැතිවරණ කොමිෂන් කාර්යාලය විසින් මුද්‍රණය කළ එකක් බව එහි නිලධාරියෙක් ලංකාසරට පැවසීය.

මේ අනුව මීටරයක දුරස්ථභාවය රැකගනිමින් පෝලිමේ සිට ඡන්දය ප්‍රකාශ කරන ස්ථානයට පැමිණි පසු ඔහුගේ හෝ ඇයගේ නම් ප්‍රකාශක් කිරීමෙන් පසු මුඛ ආවරණය හරි අඩකින් විවෘත කර තම අනන්‍යතාව ඔප්පු කළ යුතු අතර, ඉන් අනතුරුව වෙනදා මෙන් ජාතික හැඳුනුම්පත් එහි සිටි නිලධාරීන් අතින් ඇල්ලීමක් සිදුනොකර පරීක්ෂා කිරීමෙන් පසු ඇඟිලි සලකුණු කරන ස්ථානයට ළඟාවිය යුතුය.

එහිදී වෙනදාමෙන් සුලඟිල්ල පාට කිරීමේ දී අතින් ඇල්ලීම සිදු නොකරන අතර විශේෂිත උපකරණයක් තීන්ත බෝතලයකට දමා එමගින් ඇඟිල්ල පාට කරනු ලබයි.

අනතුරුව ඡන්දය සලකුණු කිරීම සදහා තමන් පෑනක් නිවසින් ගෙන යා යුතු අතර එලෙස පෑන් රැගෙන ඒමට නොහැකි වූ අයට ඡන්ද මධ්‍යස්ථානයෙන් පෑනක් ලබාදෙනු ඇත. එලෙස ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සලකුණු භාජනයට පෑනත් දැමිය යුතුය.

අනතුරුව මීටරක පරතරය ආරක්ෂා කරගනිමින් ඡන්ද මධ්‍යස්ථානයෙන් ඉවතට පැමිණීම ද සිදුකළ යුතු ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ආකාරයටම අද පැවැති පෙරහුරු ඡන්ද විමසීම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවිය.

Exit mobile version