වාර්ෂිකව රටට ආදායම් උත්පාදනය කරන සාදික්කා සහ කරාබු වගාව ට දිලීර රෝගයක් ඇති ව තිබේ.
බෝග දෙක සඳහා වෙනස් වූ දිලීර වර්ග දෙකක් පැතිර යන බවත් රෝගය වහා පාලනය නොකළහොත් ඉදිරියේ දී අස්වැන්නට බලපෑමක් එල්ල වී ආදායම් අඩුවීමට ඉඩ ඇති බවත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්යක්ෂ ශාන්ත බණ්ඩාර පවසයි.
මේ වන විට සාදික්කා වගාව හෙක්ටයාර් තුන් දහසක් පුරා පැතිර තිබෙන අතර වාර්ෂිකව මෙට්‍රික් ටොන් 2500ක් අපනයනය කරමින් රුපියල් මිලියන 2,500 ආදායමක් ලැබීමට හැකියාව ඇති බවද හෙතෙම කීය
කරාබු වගාව දිවයින පුරා හෙක්ටයාර් අටදහසක් පුරා පැතිර ඇති අතර එයින් වාර්ෂිකව මෙට්‍රික් ටොන් 6000 අපනයනය කරමින් රුපියල් මිලියන 7000 ක ආදායමක් ලැබීමට හැකි බව ද හෙතෙම කීය.
මේ වන විට මහනුවර කෑගල්ල යන දිස්ත්‍රික්කවල රෝග පැතිර යාමක් දක්නට ලැබෙන අතර රෝගය පැතිර යන්නේ සුළගෙන් සහ ජලය මගින් බවට සොයා ගෙන තිබේ.
රෝග තත්ත්වය මත ළපටි පත්‍ර සහ ළපටි බීජ වලට දැඩි හානියක් සිදුවන බවත් ගස් අසළ මේවා වැටී තිබුණ හොත් ගසට රෝග වැළඳී ඇති බවට නිගමනය කළ හැකි බවත් ඔහු පැවසුවේය.







