සයිටම් මොරටුව වෛද්‍ය පීඨයට පවරා ගැනීමේ කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීමට පත් කළ කමිටුව කල් මරයි… මොරටුව නව වෛද්‍ය පීඨය අර්බුදයක!

Neville fanendo hospital

නෙවිල් ප්‍රනාන්දු රෝහල

මොරටුව විශ්වවිද්‍යාලයයේ අලුතින් පිහිටුවන ලද වෛද්‍ය පීඨය සඳහා රජයට පවරා ගත් මාලබේ සයිටම් ආයතනය සහ ඊට අනුබද්ධ නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා දීම සම්බන්ධයෙන් රජය විසින් ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීමට අදාල කටයතු නිර්දේශ කිරීම වෙනුවෙන් පත් කරන ලද අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත අන්තර් අමාත්‍යංශ කමිටුව සිය කටයුතු අවසන් නොකිරීම හේතුවෙන් නව වෛද්‍ය පීඨයේ කටයුතු දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි එම විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ සයිටම් විශ්වවිද්‍යාලය මෙම වෛද්‍ය පීඨයට ලබා දීම සඳහාවන අමාත්‍ය මණ්ඩලය වෙත 2023 පෙබරවාරි මස 01 වැනිදා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර ඊට පසුව පෙබරවාරි මස 13 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත්තේ මෙම ආයතන දෙක සතු සම්පත් සහ යටිතල පහසුකම් මොරටුව විශ්වවිද්‍යාලය වෙත පවරා දීම සඳහා වඩාත් යෝග්‍ය ක්‍රමවේදය පිළිබඳව තීරණය කිරීමට කමිටුවක් පත් කළ යුතු බවය.

මෙම කමිටුවට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් අධිකරණ බන්ධනාගාර සහ ව්‍යවස්ථා ප්‍රතසංස්කරණ අමාත්‍යංශ ලේකම්, මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති, නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සහ සයිටම් ආයතනයේ දේපළ හිමිරුවන්ගේ පාර්ශ්වය වෙනුවෙන් නියොජිතයකු පත් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත් කරනු ලබන නියෝජිතයකු එම කමිටුවේ කැඳවුම්කරු ලෙස පත් කර ඇත.

මේ අනුව කැබිනට් මණ්ඩලය නියෝග කර ඇත්තේ අදාළ ක්‍රියාවලිය පිළිබඳව විමසා බලා අදාල නිර්දේශ සති තුනක් තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කළ යුතු බවය.


එහෙත් මෙම කමිටුව මෙතෙක් රැස්වී ඇත්තේ දෙවතාවක් පමණක් බව වාර්තා වේ. මෙතෙක් අදාල වාර්තාව සම්පූර්ණ කර ලබා දී නැති බව පවසන මෙම ආරංචි මාර්ග මෙම තත්ත්වය නිසා දැනට මොරටුව වෛද්‍ය පීඨයේ කටයුතු ප්‍රායෝගිකව සිදු කිරීම දැඩි අර්බුදයකට ලක් වී ඇති බව මෙම ආරංචි මාර්ග තදුරටත් සඳහන් කළේය .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව ලංකාසර අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම් එන් රණසිංහගෙන්ද විමසීය. අමාත්‍යංශ ලේකම්වරයා එහිදී ප්‍රකාශ කළේ අදාළ පවරා ගැනීමේ ක්‍රියාවලියට අදාළ සාකච්ඡා තවමත් පැවැත්වෙන බවය. එහි පවතින වත්කම් සහ බැරකම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කළ යුතුව පවතින බැවින් මේ වනවිට ඒ පිළිබඳව කටයුතු සිදුවෙමින් පවතින බවත් එම කටයුතු අවසන් වූ පසු වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත්  කියා සිටියේය.

Exit mobile version