සජිත් පසුපස යන පළාත් පාලන නියෝජිතයන් වෙනුවට එජාපයෙන් අලුත් මුහුණු

වෙනත් පක්ෂවලට සහයෝගය දක්වන පළාත් පාලන ආයතනවල එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායකයින් වෙනුවට නවකයින් පත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීරණය කර තිබේ.

මේ සම්බන්ධව කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර එහිදී පක්ෂයේ උපදේශක නිශ්ශංක නානායක්කාරගෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින් කීපදෙනෙකු විමසා සිටියේ කණ්ඩායම් නායකයින් වෙනුවට අලුතෙන් පත් කිරීම් කළ නොහැකි ද යන්නයි.

ඕනෑම පළාත් පාලන ආයතනයක පක්ෂයේ සාමාජිකයෙක් මහජන නියෝජිතයෙකු ලෙස පත්ව ඔහු තම පක්ෂයට විරුද්ධව කටයුතු කරනවා නම් ඔහු හෝ ඇය එම තනතුරුවලින් ඉවත් කිරීමේ හැකියාව පක්ෂයට තිබෙන බව නීති උපදේශකවරයා පෙන්වාදුන්නේය.


මෙහිදී ආණ්ඩුව සහ අනෙකුත් පක්ෂවලට උදව් කරන පළාත් පාලන ආයතනවල කණ්ඩායම් නායකයින් වෙනස් කිරීම සඳහා ලිපි යවනවා කිව්වට අද වන තෙක් එක ලිපියක් යවා නැති බව මතක් කළ රංගේ බණ්ඩාර මහතා ‘එලෙස ලිපි යැවීමට නොහැකි ප්‍රශ්නයක් තිබෙනවා දැයි’ මහ ලේකම්වරයාගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් මහා ලේකම් අකිල විරාජ් කියා සිටියේ ලිපි යැවීමට කිසිදු ප්‍රශ්නයක් නැති බවත් එලෙස ලිපිය යවනවා නම් ඒ අයගේ තනතුරු වෙනස් කරනවා නම් පක්ෂය ඒ ගැන තීරණයක් ගත යුතු බවයි.

මේ අතර පුරප්පාඩුව තිබෙන ආසන සංවිධායක ධූර කඩිනමින් සම්පූර්ණ කිරීම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කරමින් සාකච්ඡා කළ අතර දැන්ට පුරප්පාඩුව පවතින ආයතන සඳහා නව එජාප සංවිධායකවරු පත්කිරීමේ සම්පූර්ණ බලය නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරනු ලැබීය.

මේ අතර පක්ෂයේ තනතුරු සඳහා අලුත් මුහුණු පත්කර ගත යුතු බවත් ඒ අනුව ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂ පෙරමුණට තවදුරටත් බලගන්වා ගැනීමේ වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කළ යුතු බවත් මෙහිදී රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

අලියාගෙන් බලයට පැමිණ තනතුරු ලබාගෙන අලියාට වින කරන පිරිසක් සිටින බවත් ඔවුන් වහාම පක්ෂයෙන් නෙරපා හැර හැකියාව දක්ෂතාවය ඇති අයට පක්ෂයේ තනතුරු ලබාදී කඩිනම් වැඩපිළිවෙළක් ඇරඹිය යුතු බවත් අනෝමා ගමගේ මහත්මිය මෙහි දී පෙන්වා දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යා හැකි වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරගත යුතු බවත් ඒ සඳහා සාකච්ඡා කිරීම සඳහා ලබන සතියේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය යුතු බවත් එහිදී තීරණය කෙරිණි.

Exit mobile version