ඉඳුනිල් කහටපිටිය –
තමන් සිරි දළදා දැක්මට එක්ව දළදා වහන්සේ වන්දනා කිරීම මෙවර සිදු නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මල්වතු පාර්ශවයේ අනු නායක අති පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි අභියසය. අද අස්ගිරි මල්වතු මහා නායක හිමිවරුන් බැහැදැකීමට පැමිණ උන්වහන්සේලා බැහැදැකීමෙන් අනතුරුව දිඹුල්කුඹරේ විමලධම්ම හිමි හමුවූ අවස්ථාවේ දී උන්වහන්සේ දළදා වන්දනාව නොකරන්නේ දැයි විපක්ෂ නායකවරයා විමසුවේය.
එවිට ඔහු ප්‍රකාශ කළේ මෙවර තමන් දළදා වන්දනාවට එක් නොවන බවත්, ජනතාව පෝලිම්වල දින ගණන් ගත කර දළදා වඳින විට තමන්ට වීඅයිපී ක්‍රමයට ගොස් දළදා වඳින්නට හිත් නොදෙන බවත්ය.
“ඉතින් ඔබතුමා මේ රටේ ප්‍රධාන මහජන නියෝජිතයෙක් නේ. එය ජනතාවටත් ගැටලුවක් වෙන එකක් නෑ… ගිහින් දළදා වන්දනා කරන්න…” අනුනායක හිමියෝ නැවතත් පැවසූහ.
විපක්ෂ නායකවරයා කීවේ මිනිසුන් පෝලිම්වල දුක් විඳිද්දී පෝලිම පිටින් ගොස් දළදා වඳින්නට තමන්ට හිත් නොදෙන බැවින් මෙවර දළදා වන්දනාව අත්හරින බවය.







