වී මෝල්ලු වෙළෙඳ ඇමතිවත් අන්දවලා… මාස දෙකකින් සහල් ඉවරයැයි ඇමති කියන කතාව බොරු…..

කෘෂිකර්ම අමාත්‍යාංශ භෝග පුරෝකථන වාර්තාව ඇත්ත හෙළි කරයි...

rice-warehouse

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට තුළ පවතින්නේ තව මාස දෙකක් සඳහා ප්‍රමාණවත් සහල් පමණක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

පාරිභෝගික අධිකාරිය විසින් පසුගිය සතියේ නිකුත් කළ චක්‍රලේඛයකට අනුව රටේ සියලුම සහල් මෝල් හිමියන්ගෙන් ලබා ගත් තොග පිළිබඳ දත්ත පදනම් කරගෙන මේ බව පැවසූ අමාත්‍යවරයා කියා සීටියේ ඉදිරියේ දී ඇතිවීමට නියමිත සහල් හිඟය මගහරවා ගැනීම සඳහා කඩිනමින් සහල මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කටයුතු යොදන බවය.

එහෙත් ලංකාසරට ඊයේ (24) විශේෂ හෙළිදරවුවක් කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පෙන්වා දුන්නේ පසුගිය මහ කන්නයේදී මෙරට සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.12ක් බවත් මෙම වී අස්වැන්නෙන් නිෂ්පාදනය කළ හැකි සහල් ප්‍රමාණය මාස 10කට මෙරට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් බවත්ය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විද්‍යානුකූලව හෙළිකරන ඒ කතාව මෙසේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහල් නිෂ්පාදනය පිළිබඳව බෝග පුරෝකථන වාර්තාවලට අනුව මහ කන්නයේ හෙක්ටයාර් 802494ක් වගා කර ඇති අතර එය ඉලක්ක ගත ප්‍රමාණයෙන් සියයට 94කි.

මෙම බිම් ප්‍රමාණයෙන් දළ වශයෙන් මෙට්‍රික් ටොන් මිලියන 3.12ක අස්වැන්නක් ලැබී ඇති අතර එයින් මෙට්‍රික් ටොන් මිලියන 1.97ක් එනම් ටොන් ලක්ෂ 20කට ආසන්න සහල් ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකිය.

මෙම අස්වැන්න සඳහා රජයෙන් රුපියල් 52ක සහතික මිලක් නියම කළ අතර මෙවර රජයද තරගකාරී ලෙස වී මිලදී ගැනීමට පෙලඹුණු නිසා පෞද්ගලික මෝල් හිමියන් එම සහතික මිලෙන් ඉහළ මිලකට වී මිල දී ගැනීමට කටයුතු කළේය.

සාමාන්‍යයෙන් මෙරට මාසික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 194,500ක් පමණ වන බවට ගණන් බලා ඇති අතර මේ අනුව පසුගිය මාර්තු අප්‍රියෙල් මාසයේ ලබා ගත් මහ කන්නයේ අස්වැන්න සාමාන්‍යයෙන් ලබන පෙබරවාරි මාසය දක්වා ප්‍රමාණවත් වන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර යළ කන්නයේද අස්වැන්න ද කැපෙන්නේය. මේ අනුව සැලකීමේදී මෙරට මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් සහල් තොග රැස් කර ගනිමින් සිටිනවා පමණනක් නොව රටේ වෙළෙඳ අමාත්‍යවරයා ඉල්ලූ විට ව්‍යාජ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන බවක් පෙනී යන්නේ යැයි එම ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

ඔවුන් කියන්නේ මේ සහල් අපනයනය නොකළ බවත්, සත්ත්ව ආහාර සඳහා නොගත් බවත් ඒවා පවතින්නේ මේ රට තුළම බවත්ය.

මේ වී තොග මිලදී ගත් මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනෙක් මේ වී සහල් කර එම සහල් තොගයෙන් වැඩි ප්‍රමාණවයක් රඳවාගෙන සිටින බව එම ආරංචි මාර්ග තහවුරු කළේය.

Exit mobile version