විල්පත්තුව රැක ගන්න රුපියල් කෝටි 160ක ආධාරයක්…

විල්පත්තුව රැක ගන්න රුපියල් කෝටි 160ක ආධාරයක්...

දිනසේන රතුගමගේ

විල්පත්තු ජාතික වනෝද්‍යානය සුරක්ෂිත කිරීමේ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් ජර්මනියේ GIZ නැමති  ආයතනය විසින්  යුරෝ මිලියන 8 ක (රුපියල් කෝටි 160) මුදලක් ලබා දී තිබේ.

ජර්මනියේ සිට ක්‍රියාත්මක වන GIZ  මව් ආයතනය ලෝකයේ රටවල් ගණනාවක ක්‍රියාත්මක වන අතර විල්පත්තු ජාතික වනෝද්‍යානය සංවර්ධනය කිරීම හා සුරක්ෂිත කිරීම වෙනුවෙන් ලබා දෙන ආධාරය ජර්මනියේ GOPA නැමති සංවිධානය හරහා ක්‍රියාත්මක වෙයි.

GOPA ආයතනයේ ශ්‍රී ලංකා කණ්ඩයම් නායක බර්නාඩ් මොහොන්ස්

GOPA ආයතනයේ ශ්‍රී ලංකා කණ්ඩයම් නායක බර්නාඩ් මොහොන්ස් (Bernhard Mohons)  ප්‍රකාශ කළේ විල්පත්තුව සඳහා ලබාදෙන යුරෝ මිලියන 8ක ආධාරයෙන් යුරෝ මිලියන 2 ක් මේ වන විට ලබා දී අවසන් බවයි.


මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුලුවක් විල්පත්තු ජාතික වනෝද්‍යානයේදී පැවති අතර ඊට වවුනියාව අනුරාධපුරය හා පුත්තලම යන ප්‍රදේශ වලින් තෝරාගත් මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදී අදහස් දැක් වූ  GOPA ආයතනයේ ශ්‍රී ලංකා කණ්ඩයම් නායක බර්නාඩ් මොහොන්ස්  කියා සිටියේ විල්පත්තුවේ අනාරක්ෂිතභාවය සඳහා බෙහෙවින්ම බලපානු ලබන්නේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම හා පරිසර විනාශය යන කරුණු දෙක බවයි.

හේන් ගොවිතැන සඳහා විල්පත්තු වනයේ විශාල කොටසක් සෑම වසරකටම වරක් විනාශ වන බවත්  හේන් ගොවීන් එක දිගටම එම ස්ථානයේ වගා කටයුතු නොකොට වරින් වර අලුත් හේන් කැපීම නිසා විල්පත්තු පරිසරයට විශාල හානියක් සිදුවන බවද පැවසීය.

මේ හේතුවෙන් විශේෂයෙන්ම විල්පත්තුවේ සිටින වන අලි ගහණයට ආහාර පිළිබදව විශාල ගැටලුවක් පැන නගින බවද සෙසු සතුන්ගේ පැවැත්මට හේන් ගොවිතැන බාධාවක් බවද ඔහු සඳහන් කළේය.

ඊට අමතරව සතුන් දඩයම් කිරීම සදහා ද මීපැණි එකතු කිරීම සදහා ද දර කැඩීම සදහා ද විශාල පිරිසක් විල්පත්තු වනෝද්‍යානය තුළට පැමිණෙන අතර ඔවුන්ගේ එම ක්‍රියාවන් අවම කොට විල්පත්තුව ආරක්ෂා කර ගැනීම පිණිස රජය සමග එක් වී ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක කරන බවද ඔහු  පැවසීය.

හේන් ගොවිතැනේ නිරත පිරිස් වලට ගෙවතු වගාව හා පලතුරු වගාව හදුන්වා දීම, මී පැණි එකතු කරන්නන් සඳහා ගෙවතු තුළම මීමැසි පාලනයට පහසුකම් සලසාදීම, දඩයමේ පැමිණ සතුන් මරන්නන්ව සත්ත්ව පාලනය සඳහා හුරුකරවීම, වැනි විකල්ප ක්‍රියා මාර්ගයන්ට ඔවුන්ව යොමු කරවීම ද තවත් ස්වයං රැකියා හඳුන්වා දී විල්පත්තුව අවට සිටින ජනතාවගේ  දෛනික ආදායම වැඩිකිරීම ද නව ව්‍යාපෘති අතර වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විල්පත්තු ජාතික වනෝද්‍යානය  ආරක්ෂා කර ගැනීම සඳහා හොදම විකල්පය වන්නේ වැඩි වශයෙන්  ජනගතකරණ වැඩ සටහන් ක්‍රියාත්මක කොට ඔවුන්ගේ සහය මෙම වැඩ සටහන් වෙත ලබා ගෙන විල්පත්තුව විනාශ කරන කණ්ඩායම් හුරු පුරුදු වී සිටින තත්ත්වයන්ගෙන් ක්‍රමයෙන් ඉවත් කිරීම බවද  ඔහු වැඩිදුරටත් පැවසීය.

Exit mobile version