විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනතට එරෙහිව යමින් එම කාර්යාංශය මගින් සංචාරක විසා මත ගෘහ සේවිකාවන් 4942ක් විදේශගත කිරීමට සම්බන්ධව නිලධාරීන්ට ආයතන සංග්‍රහ අනුව විනය ක්‍රියාමාර්ග පවත්වා නිශ්චිත දඬුවම් පමුණුවන ලෙස කෝප් කමිටුව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අමාත්‍යාංශ ලේකම්වරියට නිර්දේශ කළේය.
මෙම නිර්දේශය කෝප් කමිටුව විසින් සිදුකරනු ලබන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා සංචාරක වීසා මත ගෘහ සේවයට යැවූ ගෘහ සේවිකාවන් 4942කින් ගෘහ සේවිකාවන් 3954 දෙනෙකුට රැකියාවක් ලැබුණු බවට තොරතුරු තානාපති කාර්යාලයේ තොරතුරු පද්ධතියට ඇතුළත් කර නොමැති බවය.
මෙම ගෘහසේවිකාවන් යැවීම සඳහා පනතට පටහැනිව චක්‍රලේඛයක් නිකුත් කර තිබුණේ ඒ වනවිට කාර්යාංශයේ වැඩ බලන සභාපතිවරයා ලෙස කටයුතු කළ සමින්ද ජයසේකර නැමැත්තා බවත් ඔහු මෙම නිර්දේශය කර ඇත්තේ අධ්යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව හිතූ මතේ බවත් කෝප් කමිටුව ඉදිරියේ අනාවරණය වූයේය.
මෙහිදී වැඩබලන අතිරේක සාමාන්‍යාධිකාරීවරයා විසින් කරුණු දක්වමින් රට යවන්නේ සංචාරක වීසා මතද වෙනත් ක්‍රමයකට ද යන්න අදාල නැති බවත් අවශය වන්නේ විදේශ රැකියාව බවත් පැවසීමත් සමග කෝප් කමිටු සාමාජිකයින් එම නිලධාරියාට එරෙහිව දැඩි විරෝධතාවයක් පල කළේය.
“සමින්ද ජයසේකර නැමැත්තෙක් තමයි වැඩ බලන සභාපතිවරයා ලෙස මේ ගෘහසේවිකායන් යවන්න අත්සන් කරලා තියෙන්නේ. පනතේ තියන තත්ත්වයට පිටින් මෙවැනි චක්‍රලේඛයක් අවශ්‍ය වුනේ ඇයි. ” කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පැවසුවේය.
එවිට හිටපු වැඩ බලන සභාපති නීතිඥ සමින්ද ජයසේකර පැවසුවේ මෙවැන්නකි. “රටේ ඇතිවෙච්චි ආර්ථික අර්බුදයත් එක්ක හුඟක් මිනිස්සු රටින් යන්න ගියා. ජාවාරමක් වශයෙන්ම සිද්ධ වුනා රටේ මිනිස්සු අරගෙන ගිහිල්ලා ඩුබායිවලට විසිට් වීසා මත අතරමං වෙලා උද්ඝෝෂණ කරලා සහ විශාල ප්‍රශ්නයක් ආවා. ඒක මැඩ පවත්වන්න අපි විශාල ක්‍රියාමාර්ග කීපයක් ගත්තා.”
එම තත්ත්වය මැඩ පැවැත්වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංචාරක වීසා මත ගෘහ සේවිකාවන් පිටරට යැවීම විසඳුමක් වූයේ කෙසේ දැයි කොප් කමිටු සාමාජිකයෝ මෙහි දී දැඩි ලෙස ප්‍රශ්න කළහ.
“පනත අතික්‍රමණය කරලා මෙවැනි චක්‍රලේකයක් නිකුත් කරන්න ඇක්ටින් චෙයාර්මන් විදිහට ඔබට ඇති බලය කුමක් ද?. මේක කලේ අධ්යක්ෂ මණ්ඩල අනුමැතියකින් ද?” කෝප් කමිටු සභාපතිවරයා හිටපු වැඩ බලන සභාපතිගෙන් ඇසුවේය.
“බෝඩ් අනුමැතියක් තිබ්බද කියලා මතක නෑ. චෙක් කරලා බලන්න ඕන. ” එසේ කීවේ හිටපු වැඩ බලන සභාපතිවරයා ය.
පනත උල්ලංඝණය කරලා අපි රාජ්‍යයක් විදිහට විසිට් වීසා වගේ මොකක්හරි ක්‍රමවේදයකට නිශ්චිත ක්‍රමවේදයකින් තොරව වෙනස් කොහෙ හරි ඒජන්සි එකක අත්සන් කරන ගිවිසුමකට මිනිස්සු යවනවා ඩොලර් සීයක් අරන්. රාජ්‍යයට සම්බන්ධ ආයතනයක් හියුමන් ට්‍රැෆිකින් වලට උදව් කිරීමක් වගේ දෙයක් මේක.” විගණකාධිපති ඩබ්ලියු.පී.සී වික්‍රමරත්න තත්ත්වයේ බරපතලකම පැහැදිලි කරමින් ප්‍රකාශ කළේය.
අවසානයේ දී කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවික්‍රම සිය නිර්දේශය ඉදිරිපත් කළේ මෙසේය.
” ආයතනයේ තියන වගකීම මුලුමනින්ම පැහැර හරිමින් මිනිස් ජාවාරමකට ඉඩ සලසපු කතාවක් තමයි මේක ඇතුළෙ තියෙන්නේ. මේ ගියපු ජනතාවට සිදුවුන සමස්ත හානිය පිළිබඳව ආයතනය තමන්ගේ වගකීම මුලට තියලා නිශ්චිත පරික්ෂණයක් කරන්න ඕන. බලය රහිතව මෙවැනි තීන්දු තීරණ ගත්තු කිසිම ආකාරයක පැවරුමක් රහිතව තීන්දු තීරණ ගත්තු නිලධාරීන්ට නිසි විනය පරීක්ෂණයක් තියලා අනිවාර්යයෙන්ම ආයතන සංග්‍රහයට අනුව නිශ්චිත දඬුවම් පමුණුවන්න ඕන. මම ඒක ප්‍රධාන ගණන් දීමේ නිලධාරී විදිහට ලේකම් තුමියට නිර්දේශ කරනවා. “







