විදෙස්ගතවන සියලුම ශ්‍රමිකයන්ට ෆයිසර් එන්නත ලබා දීම ලබන සතියේ…

වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලුම විදේශ ශ්‍රමිකයන්ට   එම රටවල් පොදුවේ පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත වූ ෆයිසර් එන්නත ලබන සතියේ දී ලබා දීමට කටයුතු කරන බව රජය පවසයි.

කොළඹ විශේෂ මධ්‍යස්ථානයක දී විදෙස්ගතවන සියලුම ශ්‍රමිකයන්ට එම එන්නත ලබා දෙන බවත්,  ඒ සමගම එන්නතේ දෙවන මාත්‍රාවත් නිශ්චිත ලෙස ලබා දීමට සඳහා සැලසුම් සකස් කර මාස දෙකක් තුළ මේ සියලු ශ්‍රමිකයන් රටින් පිට කිරීමට සැලසුම් කර ඇති බවත් රජය ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරිය හා කම්කරු අමාත්‍යවරයා ඇතුළු විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් අද (22) කරන ලද සාකච්ඡාවකදී  මෙම තීරණය ගෙන තිබේ.


මේ වන විට රටවල් පහළොවකට පමණ (15) රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ ලාංකික  ශ්‍රමිකයන් (8000) අට දහසකට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා  කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පෙන්වා දී ඇත.    

ඩුබායි, බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන් ,කටාර්, සෞදිඅරාබිය. සීෂෙල්ස්, සිංගප්පූරුවදකුණුකොරියාව, මාලදිවයින, මැලේසියාව, ඊශ්‍රායලය, සයිප්‍රස්,යන රටවලට මෙම ශ්‍රමිකයන් රැකියා අවස්ථා නිර්මාණය වී ඇති බව ඇමතිවරයා කීවේය.

මෙම විදේශ රැකියා සඳහා යාමට රැකියා අවස්ථා ලැබ සිටින බොහෝ දෙනෙකු වයස අවුරුදු 30ට අඩු තරුණ තරුණියන්  නිසා ඒ පිළිබඳව විශේෂයෙන් සලකා බලා ඔවුන්ට මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවත් මාස දෙකක් තුළ සියලු කටයුතු සම්පූර්ණ කර විදෙස්ගවීමට අවශ්‍ය පහසුකම් සපයන බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

පුද්ගලික අංශයේ විදේශසේවා නියුක්ති ආයතන ඊයේ (21) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ පිළිගත් එන්නක් ලබා නොදීම නිසා විදේශ රැකියා දෙලක්ෂ පනස් දහසක් සඳහා ශ්‍රමිකයන් යැවීමට නොහැකි වී ඇති බවය.  සෞදි අරාබියේ හා කටාර්වල පමණක් රැකියා හැට දහසක් සඳහා වීසා අනුමතව ඇති ඔවුන් කීවේය.  මෙසේ අහිමවන සමස්ථ විදේස් රැකියා ප්‍රමාණයෙන් රටට වාර්ෂිකව අහිමවන විදේශ විනිමය  ඩොලර් බිලියන 11ක් බව ඔවුහු කීහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද පැවති සාකච්ඡිවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, කම්කරු ඇමති නිලමල් සිරිපාල ද සිල්වා සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්  වෛද්‍ය  එස්.එච්.මුණසිංහ, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ඇතුළු නිලධාරීහු රැසක්   එක් වූහ.

 

 

Exit mobile version