වැලිවේරිය පොලිසියේ අයි.පී ගිල්ල නෝට්ටු තවම බඩ ඇතුළෙ… ගම්පහ රෝහල් ආරංචි මාර්ග කියයි…   

කීර්ති ප්‍රනාන්දු –

අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වීමෙන් වැළකීමට  අල්ලස් ලෙස ලබා රුපියල් පන්දහසේ නෝට්ටු දෙකක් ගිල දැමූ  වැලිවේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ගම්පහ රෝහලට  ඇතුළත් කර කර ඇත.

ගිල දැමූ මුදල් නෝට්ටු ලබා ගැනිමේ අභිලාෂය ද සහිතව මෙසේ රෝහල්ගත කළත් ඊයේ (30) රාත්‍රිය වනතුරු එම ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි වූ බව ගම්පහ මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම ලංකාසර කළ විමසීමක දී පැවසීය.

අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත සැකකාර ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ රෝහලට පැමිණ සැකකරු පරීක්ෂා කළ ගම්පහ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න   ඊයේ (30 දා) නියෝග කළේය..


අල්ලස් කොමිසමේ නිලධාරීන්ගෙන් බේරීමට රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු දෙකක් ගිල දැමූ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගම්පහ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන අතර ගිල දැමූ මුදල් නෝට්ටු නැවත ලබා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කරමින් සිටියි.

අල්ලස් කොමිසමට අනුව වාහනයක් සම්බන්ධයෙන් පැවති ආරවුලක් එක පාර්ශ්වයකට වාසි සහගත ලෙස අවසන් කිරීම සඳහා රුපියල් දස දහසක අල්ලස් මුදලක් සැකකාර නිලධාරියා විසින් ඉල්ලා තිබිණි.ඒ  අනුව එම පාර්ශ්වය මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිලි කර ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන් පෙරේදා පෙරවරුවේ වැලිවේරිය පොලිසිය වෙත ගොස් අදාළ අල්ලස් මුදල සැකකාර නිලධාරියා විසින් ලබා ගනිද්දී අත්අඩංගුවට ගෙන තිබේ.

ල්ලස් කොමිසමේ නිලධාරීන් දැකීමෙන් බියට පත්වු ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු දෙක පොඩි කර ගිල දමා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණි වීරසුරිය මහත්මියගේ අධීක්ෂණය යටතේ විමර්ශන නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සඳහා සහභාගි වූහ.

Exit mobile version