වලපනේ ගුරුවැටුප් හොරා වරද පිළිගෙන හොරකම්කළ ලක්ෂ 89ක් ගෙවන්නට එකඟ වෙයි!

හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේ සිදුව තිබෙන රුපියල් කෝටියකට ආසන්න  මූල්‍ය අක්‍රමිකතාව සිදුකළ බව කියන නිලධාරියා වරද පිළිගෙන රජයට සිදුවූ  අලාභය ලෙස දැනට  අනාවරණය වී ඇති  රුපියල් ලක්ෂ 89 ක මුදල ගෙවීමට එකඟතාව පළකර තිබේ.

මේ අනුව දැනට ගණන් බලා තිබෙන අලාභය එම  පුද්ගලයාගෙන් අයකර ගැනීමට අවසර අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මගින්  පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත ඊයේ (29) ලිපියක් යොමුකර ඇත.

අදාළ මුදල් වංචාවේ ප්‍රමාණය අවසන් වශයෙන් තක්සේරු කර වාර්තාවක් නිකුත් කරන තෙක් දැනට අනාවරණය වී තිබෙන මුදල අයකර ගැනීමට කටයුතු කරන  බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා  ලිපියේ  සඳහන් කර තිබේ.


හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාල‌යේ  ගිණුම් අංශයට අනුයුක්තව සංවර්ධන නිලධාරිවරයෙක් ලෙස සේවය කර තිබෙන අදාළ පුද්ගලයා  2012 වසරේ සිට ගුරු වැටුප් ගෙවීමේදී මෙම මූල්‍ය  වංචාව සිදුකර තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිවී තිබේ.

දැනට සේවයේ නියුක්ක සහ විශ්‍රාමික ගුරුවරුන්ගේ වැටුප් ගෙවීමේදී ඔහුගේ බිරිය  ඇතුළු තවත්  පුද්ගලයින්ගේ නම් උපයෝගි කරගෙන සකස් කළ බැංකු ගිණුම් වලට මුදල් බැර කරමින් මෙම වංචාව ඔහු විසින් සිදුකර තිබෙන බව විගණන පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

මෙම නිලධාරියාට 2016 වසරේදී වලපනේ ප්‍රාදේශීය සභාවට ස්ථාන මරුවක් ලබාදී ඇති නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සතියකට දින දෙකක් හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේ වැටුප් සකස් කිරීම සඳහා ඔහුට අනුයුක්තයක් ලබාදී තිබේ.

මේවන විට වලපනේ ප්‍රාදේශීය සභාවේද රුපියල් ලක්ෂ 37 ක මූල්‍ය වංචාවක් සිදුව තිබෙන අතර එයටද මෙම පුද්ගලයා සම්බන්ධව ඇතැයි විමර්ශන නිලධාරීන් සැක කරයි.

රාජ්‍ය නිලධාරියෙකු විසින් යම්  වංචාවක් සිදුකර තිබෙන බව මූලික පරීක්ෂණ මගින් අනාවරණය වූ අවස්ථාවක  සිදුව තිබෙන අලාභය ඔහුගෙන් අයකර ගැනීමට කටයුතු කරන බවත් පරීක්ෂණය යන අතරතුර එම පුද්ගලයා අදාළ අලාභය ගෙවීමට එකඟ වුවහොත් එය  අයකර ගතහැකි බව මුදල් රෙගුලාසි යටතේ දක්වා තිබෙන බවත් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න   කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වරද පිළිගෙන මේ ආකාරයට අලාභය ගෙවීමට එකඟ වුවත් අදාළ පුද්ගලයාට එරෙහිව සිදු කෙරෙන විමර්ශන ඒ අයුරින්ම සිදුවන බවද ඔහු  ප්‍රකාශ කළේය.

Exit mobile version