වරාය නගරය පනතෙන් රටේ ව්‍යවස්ථාවට විධායකයට හෝ අධිකරණයට හානියක් නෑ – රජය කියයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කොළඹ වරාය නගරය පිළිබඳ කොමිෂන් සභා පනත මඟින් මෙරට ව්‍යවස්ථාව විධායකය හෝ අධිකරණ කිසිසේත් අභියෝගයට ලක් නොවන බව රජය පවසයි.

මෙම භූමිය අපට අයත් නොවන චීන කොලනියක් බව කීම සම්පූර්ණ වැරදි සහගත අදහසක් බවත් පසුගිය රජය සමයේ 2019 අගෝස්තු මාසයේදී එවකට අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විශේෂ ගැසට් පත්‍රයක් හරහා මෙම භූමිය ශ්‍රි ලංකා රජයට අයත් භූමියක් බවට ප්‍රකාශයට පත් කොට ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද මාධ්‍ය හමුවකදී පැවසීය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කරුණු පැහැදිළි කළ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙම භූමිය මෙම ගැසට් නිවේදනයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියට පවරා දී ඇති බවද සඳහන් කළේය.


“ මේක අයිති චීනෙට කියන කතාව බොරු. 2019 අගෝස්තු මාසේදී ඉහත ආකාරයෙන් භූමිය රටට එක්කාසු කිරීමක් වෙලා තිබෙනවා. විජේදාස රාජපක්ෂ මහතා කියනවා අපි මේක හදිසි පනතක් ලෙස ගේන්න උත්සාහ කළා කියල. ඊට එරෙහිව පෙත්සම් 21ක් දාලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ. මේ සම්බන්ධයෙන් අධිකරණයත් තීරණයක් දේවි.

පසුගිය දවස්වල මොකක්ද මාධ්‍ය නාළිකාවක් ගඩොල් කැටයක් බැඳගෙන ගියා රට වටේ ගියා. ඔවුන් ප්‍රචාරය කළේ රට ඉදිරියට ගෙන යන්න තිබුණු ශක්තිමත්ම වැඩපිළිවෙළ මේක කියල. අද මේක වැරදි වැඩක් කියන්නේ කුහක අදහසකින් .යයි හෙතෙම එහිදී සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද මෙම කලාපයට ඇතැම් අනපනත් නීති රීති නෑ කියල කිව්වට මේක තුළ කොමිෂන් සභා පනතට අදාල නීති සියල්ල ක්‍රියාත්මක වෙනවා. එයින් මේ සියල්ල ආවරණය වෙනවා. මෙම කලාපය තුළ යම් බද්දක් අය කෙරෙනවා. නමුත් ආදායම් බදු අය කරන්නේ නෑ. ඒ නිසා තමයි ආයෝජකයන් එන්නේ. පසුගිය රජය සඳහන් කළා මෙයින් රැකියා 83,000ක් උත්පාදනය වෙනවා කියල. ඔවුන්ට ඩොලර්වලින් වැටුප් ලැබෙන විට එය අපේ රටට නරකක්ද වෙන්නේ. මෙතනට නීති තුන හතරක් මොකටද? සිංගප්පූරුවට ආයෝජකයන් යන්නේ ඔවුන්ට පහසුකම් සලසන නිසා .ආයෝජකයන් රස්තියාදු වෙනව නම් ඔවුන් මේ රටට එන්නේ නෑ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් මේ තුළ රටේ පොදු නීතිය ක්‍රියාත්මක වෙනවා. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැයි කියන්න බෑ. අපේ රටේ පොලිසිය උසාවිය මේ ප්‍රදේශයටත් අදාළයි. අප ඉල්ලීමක් කළා අධිකරණ ක්‍රියාමාර්ගවලදී මේ ප්‍රදේශයට අදාල නඩු හෝ නීතිමය ප්‍රශ්නවලදී ප්‍රමුඛතාව දෙන්න කියල. යම් අධිකරණ තීන්දුවක් අවශ්‍ය වන වෙලාවට ඒ සඳහා දිගු කාලයක් වැය වෙනවා නම් ආයෝජකයන්ට එය හිතකර නෑ. මාස කීහිපයකින් තීන්දු දෙන ක්‍රියාවලියක් ඇති කළ යුතුයි. නමුත් සමහරු මේ වරාය නගරය අධිකරණයට ආවරණය වන්නේ නැහැ කියා ජනතාව තුළ අනවශ්‍ය බියක් නිර්මාණය කරනවා .

Exit mobile version