වංචනික ගෑස් සිලින්ඩරය තවම වෙළෙඳපොළේ ඇයි?

anura kumara

වෙළෙඳපොලේ පවතින ගෑස් අඩුවෙන් ඇති වංචනික ගෑස් සිලින්ඩරය, වෙළඳපොළට නිකුත් කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් අනුමැතිය ලබා දී තිබේද යන්න මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී විමසීය.

ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්න ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් විමසන්නේ වංචනික ගෑස් මිල වැඩි කිරීම පිළිබඳව සහ කෘත්‍රිම ගෑස් හිඟය පිළිබඳව ආණ්ඩුව විසින් ගනු ලබන පියවර කවරේද යන්නයි.

මන්ත්‍රීවරයා එහිදී යොමු කළ ප්‍රශ්න පහත දැක්වේ.


“ශ්‍රී ලංකාවේ එල්පී ගෑස් පාරිභෝගිකයන්ට මුහුණදීමට සිදුවී ඇති අසාධාරණ තත්වය හේතුවෙන් මතු වී ගැටලුකාරී තත්වය මෙම සභාවේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි.

අද වන විට ලංකාවේ ආහාර පිසීමේ ප්‍රධානතම බලශක්ති මූලාශ්‍රයක් බවට එල්පී ගෑස් පත්ව තිබෙනවා. එසේම ගෘහස්ත ගෑස් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙසට නීතියෙන්ම නම් කරනු ලැබ තිබෙනවා. මෙහි ප්‍රධාන සැපයුම්කරුවන් දෙදෙනා වන්නේ රජයට අයත් ලිට්‍රො ගෑස් ලංකා සමාගම සහ ලාෆ් ගෑස් පුද්ගලික සමාගමයි. පසුගිය අප්‍රේල් මාසයේදී පමණ ලිට්‍රො ගෑස් සමාගම විසින් ‘ලිට්‍රො ප්‍රිමියම් හයිබි්‍රඩ් පැක්’ නමින් ලීටර් 18කින් යුතු නව ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට නිකුත් කරනු ලැබුවා. මේ වන විට මෙම නව ගෑස් වර්ගය ලාෆ් ගෑස් සමාගම විසින්ද නිකුත් කරමින් ඇති බව වාර්තා වනවා.

මෙම නව එල්පී ගෑස් සිලින්ඩරය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බවටද, ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු බවටද ආරක්ෂිත බවටද ඔවුන් විසින් වෙළඳ දැන්වීම් පළ කර තිබුණා. මෙය සාමාන්‍ය කි.ග්‍රෑ. 12.5 සිලින්ඩරයට වඩා රු. 100/-කින් මිල අඩු බැවින් පාරිභෝගිකයන්ට සහනයක් බවද පවසනු ලැබුවා. කෙසේ වුවද මෙම නව ගෑස් සිලින්ඩරය මගින් තමන් බරපතළ අසාධාරණයකට සහ සූරාකෑමකට ලක්ව ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

නව ගෑස් සිලින්ඩරයේ ගෑස් ප්‍රමාණය ලීටර 18ක් වුවද ගෑස් කි.ග්‍රෑ. 01ක් යනු ලීටර් 1.96ක් වන බැවින් සැබැවින්ම එහි අඩංගු ගෑස් කි.ග්‍රෑ. ප්‍රමාණය 9.18ක් පමණයි. ඒ අනුව කි.ග්‍රෑ. 12.5 සාමාන්‍ය ගෑස් සිලින්ඩරයක් බස්නාහිර පළාත තුළ රු. 1493/-ක් වන බැවින් එහි ගෑස් කිලෝ එකක මිල රු.119.44ක් වෙද්දී නව ‘සහනදායී’ යැයි කියනු ලබන රු. 1395ක් මිල වන ලීටර් 18 සිලින්ඩරයේ ගෑස් කිලෝ එකක මිල රු.151.96ක් වනවා. ඒ අනුව පෙර කි.ග්‍රෑ.12.5 සිලිඩරයේ ප්‍රමාණයට එහි නව ‘සහනදායී ගෑස්’ පිරවූයේ නම් එහි මිල රු. 1899.50ක් වනවා. ඒ අනුව පැරණි කි.ග්‍රෑ.12.5 සිලින්ඩරයටම නව ගෑස් ලිටර් 18 පුරවා මෙම සමාගම් පාරිභෝගිකයන් රැවටීමට ලක් කර සිලින්ඩරයකට රු. 406.50ක අයුතු මිල වැඩි කිරීමක් කර ඇති බව පෙනී යනවා. මෙම මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික අධිකාරියේ අනුමැතිය ලැබී ඇති බවක් දැනගන්නට නැහැ.

මීට අමතරව ගෑස් සමාගම් විසින් නව නිෂ්පාදන හඳුන්වාදීමේදී ජාතයන්තර ප්‍රමිතිය සහ ඉහළ කාර්යක්ෂමතාව පිළිබඳව පාරිභෝගිකයා නොමඟ යවා ඇති බවටද කරුණු වාර්තා වනවා. එල්පී ගෑස් නිෂ්පාදනයේදී ලොව පුරා භාවිත කරන්නේ ප්‍රොපේන් සහ බියුටේන් යන වායු සංඝටක දෙකෙහි මිශ්‍රණයයි. ප්‍රොපේන්හි අඩු ජ්වලන උෂ්ණත්වයක් ඇති නිසා ඒවා වැඩි ප්‍රමාණයක් අඩංගු ගෑස් වඩා සුදුසු වන්නේ ශීත පරිසරයක් සහිත රටවලට බවත් ඝර්ම කලාපීය රටවලට ඉහළ දහන අගයක් සහිත බියුටේන් වැඩි ප්‍රමාණයක් මිශ්‍ර කරන ලද එල්පී ගෑස් සුදුසු බවත් විද්‍යාත්මකව ප්‍රකාශ වනවා. මේ තත්වය තුළ නව සිලින්ඩරයේ ගෑස්වල බියුටේන් ප්‍රතිශතය පහළ දමා තිබියෙදී කාර්යක්ෂමතාව ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයා මුලා කරනු ලැබ තිබෙනවා.

අනෙක් බරපතළ කරුණ වනුයේ පාරිභෝගිකයන් පෙරදී මිලදී ගත් එකම වර්ණය සහිත ටැංකියේ කි.ග්‍රෑ. බර පිළිබඳ සඳහන මකා දමා ලීටර් ප්‍රමාණය මුද්‍රණය කොට වෙනත් ගෑස් මිශ්‍රණයක් පුරවා වෙළඳපොළට නිකුත් කරනු ලැබීමයි. මෙමගින් පාරිභෝගිකයන් පෙර ගෑස් ප්‍රමාණයම මෙහිද අඩංගු බවට නොමඟ යැවීමකට ලක් කෙරෙනවා. මෙසේ පාරිභෝගිකයන් නොමඟ යැවීමද පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ නීති විරෝධී ක්‍රියාවක් වනවා.

එසේම නව නිෂ්පාදනය හඳුන්වා දීමේදී මෙම සමාගම් ප්‍රකාශ කරන ලද්දේ සාමාන්‍ය වර්ගයේ ක්‍රි.ග්‍රෑ. 12.5 ගෑස් සිලින්ඩර් හිඟයකින් තොරව ගත හැකි බවයි. මීට අමතර වශයෙන් අවශ්‍ය පාරිභෝගයන්ට නව ගෑස් මිශ්‍රණය මිලදී ගත හැකි බව ප්‍රකාශ කරනු ලැබුවා. නමුත් මේ වන විට වෙළඳපොළේ සාමාන්‍ය ගෑස් සිලින්ඩර්වල බරපතළ හිඟයක් ඇති අතර වැඩි වශයෙන් මිලදී ගැනීමට ඇත්තේ නව වංචනික ගෑස් සිලින්ඩර් පමණයි.

මෙම තත්වය තුළ මතුවන පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


01. නව ගෑස් සංයුතියක් සහිතව වැඩි කරන ලද මිලකට, අඩු ගෑස් කිලෝග්‍රෑම් ප්‍රමාණයක් සහිත සිලින්ඩරයක් වෙළඳපොළට නිකුත් කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් අනුමැතිය ලබා දී තිබේද?
02. නව ගෑස් සිලින්ඩරයේ ජාත්‍යන්තර ප්‍රමිතිය සහ ඉහළ කාර්යක්ෂමතාව පිළිබඳව කරනු ලබන වෙළඳ ප්‍රචාරණයන් සත්‍ය ඒවාද? ඒ පිළිබඳව ආණ්ඩුවට ඇති සහතිකය කුමක්ද?
03. පාරිභෝගිකයන් විසින් මිලදී ගත් කි.ග්‍රෑ. 12.5 වර්ගයේ සිලින්ඩර්වලට මෙම නව සංයුතිය සහිත අඩු ගෑස් ප්‍රමාණයක් පිරවීම මගින් පාරිභෝගිකයන් නොමඟ යැවීමක් සිදු වන බව ආණ්ඩුව විසින් පිළිගනු ලබන්නේද? එය පාරිභෝගික කටයුතු අධිකාරිය පනත යටතේ වරදක් නොවන්නේද?
04. රට පුරා ගෑස් හිඟයක් ඇති බවත් බොහෝ අලෙවිහල්වල විකිණීමට ඇත්තේ නව අඩු බර සහිත සිලින්ඩර් බවටත් පාරිභෝගිකයන් විසින් නගන චෝදනාව පිළිබඳව ආණ්ඩුවේ මතය කුමක්ද?
05. මෙම වංචනික ගෑස් මිල වැඩි කිරීම පිළිබඳව සහ ගෑස් හිඟය පිළිබඳව ආණ්ඩුව විසින් ගනු ලබන පියවර කවරේද? “

Exit mobile version