ලෝක සෞඛ්‍ය සංවිධානයත් අවසර දීලා… භූමදාන කරන්න නොදී මේ කරන්නෙ අපෙන් පලි ගැනීමක්…

මවුලවි මුනීර් මුලෆ  යනු මුස්ලිම් විද්වතෙකි.  ජමේතුල්ලා උලමා සංවිධානයේ සාමාජිකයෙකි.  ඉස්ලාම් අධ්‍යාපනය පිලිබද මධ්‍යස්තානයේ උපදේශකවරයෙකි. ඔහු කොවිඩ් ආසාදිත මුස්ලිම් පුද්ගලයන්ගේ දේහ සම්බන්ධව අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ මේ මොහොත වන විට නිර්මාණය වී ඇති තත්වය මුස්ලිම් ජාතිකයෙක් විදිහට සමාලෝචනය කරන්නේය. චමුදිත සමරවික්‍රම සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ සංවාදය සමාජය ඉදිරිපිට තැබුවේය. 

මේ ප්‍රශ්නය අපි මැදහත්ව කල්පනා කරලා බලලා මේ සංවාදය ඇති කරමු. අපි සංස්කෘතික මිනිස්සු විදහට මේ ගැටලුව දිහා බලමු.  මං ලාංකික සහෝදරවරුන්ගෙන් ඉල්ලලා සිටිනවා අපේ ප්‍රශ්නය තේරුම් ගන්න අපේ ඉල්ලීම හරියට තේරුම් ගන්න කියලා.

ඉස්ලාම් ධර්මය අනුව කෙනකු මිය ගියාම ඔහු වෙනුවෙන් සමාජයෙන් කළ යුතු යුතුකම් හතරක් අපිට ආගමෙන් පවරා තිබෙනවා ඒක සමාජ වගකීමක්.


පළමු දේ තමයි මැරුණු කෙනාව නෑවීම. දෙවෙනි එක සුදු රෙදි ඇන්දවිම. තුන්වැනි එක තමයි ඔහු වෙනුවෙන් සලාත් prayer එකක් ඉටුකිරීම. හතරවැන්න තමයි භූමදානය කිරීම.

මේ කොවිඩ් වසංගතයක් එක්ක නැහැවීමේ හැකියාව ලැබෙන්නෙ නෑ. සුදු රෙදි අන්දවන්න ලැබෙන්නේ නෑ. අපිට සලාත් කරන්න බැහැ. අපි කරන එකම ඉල්ලීම මෙයයි. අපට අපේ මිය ගිය ඥාතියාව භූමදාන කරන්න දෙන්න.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ රටවල් 180 කට අන්තිමට නොවැම්බර් 4වෙනිදා නිකුත් කළ උපදෙස් මාලාවේ පැහැදිලිව කියලා තිබෙනවා සෞඛ්‍යාරක්ෂිතව භූමදානය කරන්න ඉඩ දෙන්න කියලා.

අල් කුරාණයේ පැහැදිලිව කියලා තියෙනවා යමකු මරණයට පත්වුණාම ඔහු භූමදානය කරන්න කියලා. ව්‍යතිරේක තත්වයන් තුළදී අපට ඒ අනුව එකඟ වෙලා යන්න පුළුවන්. බලහත්කාර කම ඉස්ලාම් ආගම තුළ නෑ. අත්‍යවශ්‍ය මොහොතක අපට ලිහිල්ව කටයුතු කරන්න පුළුවන්. ඒත් දැන් අපට මේ ගැන සංවාදයට අවස්ථාව තියනවා.

අන්තවාදයේ  අවස්ථාවාදය

සෑම සමාජයකම ඉන්නවා සමාජයක් අවුල් කරන පිරිස්.  මුස්ලිම් ජනතාවගේ කොවිඩ් මරණ භූමදානයට රජය අවසර දුන් බවට අබ්දුල් රාසික් නිවේදනයක් නිකුත් කරනවා. දැන් මේක අවුලක්.   නිසි පිළිවෙලකට රජයකට රජයේ නිවේදන හරහා ගැසට් කරන්න කලින් ඔහු  සිලෝන් තවුහීඩ් ජමාත්හි මහලේකම්වරයා කියලා මේ කරන්නේ කාගේ කොන්ත්‍රාත් එකක් ද?. මෙය අපට විශාල ප්‍රශ්නයක්.

මම විශ්වාස කරනවා අධිකරණ ඇමැති අලි සබ්රි  කවරදාකවත් මෙවැනි පණිවිඩයක් ඔය කියන පුද්ගලයාට  කියන්නට ඇති කියා මම කිසිසේත් හිතන්නේ නැහැ. මම විශ්වාස කරන්නෙත් නැහැ.

මම පැහැදිලිව මේ රටේ ජනතාවට කියන්න කැමතියි සමස්ත මුස්ලිම් සමාජයේ බහුතරය අබ්දුල් රාසික්ලාගෙ මේ උද්ඝෝෂණය   පිළිබඳ ඉන්නේ ඍණාත්මක හැඟීමක. මට බොහෝදෙනා කතා කර කිව්වා මේක වැරදියි. අප මේ ඉල්ලීම දිනා ගත යුත්තේ මෙලෙස නෙවෙයි කියා. ඔවුන්ගේ මේ නිවේදනය දේශපාලනය තුළ මෙය වවාගෙන කෑමේ වුවමනාවක් විය හැකියි. මේකට ජාත්‍යන්තර මැදිහත්වීම අවශ්‍ය නෑ. අපි ලාංකිකයන් විදියට මේ ප්‍රශ්නය විසඳාගත හැකියි.

පලිගැනීමක් ද?

මම අහන්න කැමතියි මේ කොරෝනා රෝගීන් ගේ මලපහ මුත්‍රා ආදිය ජලයට මිශ්‍ර වෙන්නෙම නැද්ද? මේවා භූගත ජලය එක්ක සම්බන්ධ වෙන්නෙම නැද්ද? මේකද වෛරසයක් ඇති වෙච්ච ලෝකෙ පලවෙනි වතාව.

ජනාධිපතිවරණය එක්ක ඒ සමයේ දී මුස්ලිම් ජනතාව පිළිබඳ විශාල වැරදි මත පැතිරුවා. වඳ පෙති, පෙති වඳ කොත්තු, වඳ ජෙල් ගැන සමාජයේ වැරදි කතාබහ ඇති කරමින් මුස්ලිම් සමාජය ගැන වෛරය ඇතිකළා. ඡන්ද ප්‍රකාශය තුළ අපට ඒ වෙනස්කම් පෙනෙන්නට තිබුණා.

මුස්ලිම් සමාජය හිතනවා මේක භූමදානය නොකර මේ ආදාහනය කරන්නේ අපෙන් පළිගන්න කියලා.

සහරාන්ගේ ප්‍රහාරය නිසා වැඩිම පීඩාවට පත්වුණේ අන් කවරකුවත් නොවේ මුස්ලිම් සමාජය යි. හේතුව මුස්ලිම් සමාජය දැඩි ලෙස ඔහුව පිළිකුල් කළා. ඒ ප්‍රහාරය පිළිකුල් කළා. එවැනි නරක හේතු කාරණා ඇති වෙන බීජය ගැන හොයන්න රටක් විදිහට හැමෝටම වගකීමක් තියෙනවා. අපේ අතේ නීතිය නෑ අපිට දඬුවම් දෙන්න බෑ. එහෙම කරන්න ගියොත් ඊට පස්සේ කියන්නේ මුස්ලිම් අය දඬුවම් කරන්නත් පටන් ගෙන කියලා.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දෙන්න පුළුවන් කියල තියෙද්දි භූමදාන සඳහා මොවුන් බෑ කියන එකයි අපිට තියෙන ප්‍රශ්නය.

එක රටක් එක නීතියක් තියෙන්නෙ කොහෙ ද?

මේ වන විට එක රටක් එක නීතියක් නැහැ. කොරෝනා වසන්ගතය ආවම රටේ නීතියක් ගෙනාවා අවමගුල් උත්සව තියන්න බෑ කියලා. හැබැයි එක්තරා ඇමතිවරයෙක්ගේ දේහය රට වටේ අරන් ගියා. ඒ මොකක්ද ඒ එතකොට?. බලය තියෙන අයට එක නීතියක් බලය නැති සාමාන්‍ය මනුස්සයට වෙන නීතියක්. ඒක දෙමළ මුස්ලිම් සිංහල කියලා අදාළ නෑ.

මේ වසංගතය මුල් කාලයේදී මැතිවරණයක් ඉදිරියෙන් තිබුණා. ඡන්ද ගැනීමේ අවශ්‍යතාවක් තිබුණා. මුස්ලිම් ප්‍රජාව පිළිබඳ වෛරී වෛරී සහගත තත්ත්වයන් මතු කළා. ඉන්පසුව කොවිඩ් වසංගතය සහිත වාතාවරණයක් පැමිණියා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙකු ඇමතිවරයෙකුත් ඊයේ (10) කියා තිබුණා භූමදානය කියන එක කරන්න දෙන්න පුළුවන් කියලා. ලෝකෙ මේක කරනවා කියලා. රජයේ කැබිනට් ප්‍රකාශක තුමා පවා කියනවා මේක සලකා බලනවා කියලා. හැබැයි අපි සම්බන්ධව ගොඩනගපු වැරදි මානසිකත්වය එකිනෙකා කෙරෙහි ද්වේශයෙන් බැලීම කියන මානසිකත්වය නිසා මේ මොහොතේ මේක සාධාරණ බව හිතුනත් දීගන්න බැරි වෙලා තිබෙනවා.

මුස්ලිම් සමාජයේ පුද්ගලයකු මැරුණට පස්සේ ආදාහනය වෙනකොට ඒකට අපට විශාල වේදනාවක් තිබෙනවා. කිසිම කෙනෙක් කැමති නැහැ ආදාහනය වෙන්න. මේ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥයන් ඉවසීමෙන් මේ ගැන පර්යේෂණ කරලා කරුණු සාකච්ඡා කරන කොට අපේ සමාජයේ ඔවුන්ට හිස නමනවා. නමුත් ඔවුන්ගේ නොවිමසා යම් යම් හේතූන් මත හෝ වෙනත් අය මේ තීන්දු තීරණ ගැනීම දිහා අපේ සමාජය සැකෙන් බලන තත්ත්වයක් මතුවී තිබෙනවා.

මීට පෙර ප්‍රහාර ගණනාවකින් අපගේ මුස්ලිම් සහෝදරවරුන් මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා පවා ඝාතනය වී තිබෙනවා. නමුත් ඒ ප්‍රහාර වලදී අපේ . සහෝදරවරුන් මිය ගිය අවස්ථාවලදී අපි ඒක ආගමික කාරණාවකට කොටු කළේ නැහැ. අපි ඉල්ලීම් කළේ නෑ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේක ඉල්ලීමක් නෙමේ මේක මානව අයිතිවාසිකමක් ඒක භුක්ති විඳින්න සාධාරණ අයිතියක් ඉඩදෙන්න. මම ආණ්ඩුවෙන් නෙමෙයි මේ රටේ ඉන්න නිදහස් මධ්‍යස්ථ සියලු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ඒකට ගරු කරන සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් මේ ඉල්ලීම කරනවා.

Exit mobile version