ලේකම් සේදර විධායක ජනපතිටත් උඩින්… ගුරු අධ්‍යාපනඥ වෘත්තීය සංගමය ජනපතිට ලියයි..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 19 එක් කර ගුරු අධ්‍යාපන විශ්විද්‍යාලයක් පිහිටුවීමට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව කැබිනට් අනුමැතිය ලැබී තිබිය දී හා ඒ බව රටේ විධායක ජනාධිපතිවරයා විසින් පසුගිය 25 දා ජාතිය ඇමතූ අවස්ථාවේ දී තහවුරු කර තිබිය දී එම නිශ්චිත විධානයන් නොසලකා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේකම් ආචාර්ය උපාලි සේදර ස්වකීය ව්‍යාපෘතියක් දියත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන ලේකම්ට හා ඇමතිවරයාට බලපෑම් කරමින් සිටින බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමය ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබේ.

කැබිනට් අනුමැතිය ලැබ රටේ විධායක ජනාධිපතිවරයා විසින් ජාතිය අභිමුව තහවුරු කළ රාජ්‍ය ප්‍රතිපත්තිය වූ ගුරු අධ්‍යාපන විද්‍යා පීඨ එක් කර විශ්විද්‍යාලයක් නිර්මාණය කරනු වෙනුවට පෙළපොත් සකස් කිරීමට හා විෂයමලා සංවර්ධනයට පිහිටුවන ලද ආයතනය වන ජාතික අධ්‍යාපන ආයතනය විශ්විද්‍යාලයක් කර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ නාමිකව ඊට එකතු කිරීමට මෙම පුද්ගලයා කටයුතු කරමින් සිටින බව එම සංගමය ජනාධිපතිවරයාට දන්වයි.

ඊයේ (29) අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ජාතික අධ්‍යාපන ආයතනයේ පිරිසක් සමග අධ්‍යාපන ලේකම්වරයා හා ඇමතිවරයා වෙත දීර්ඝ බලපෑමක් සිදුකරමින් මෙම වෙනස කිරීමට ඔහු කටයුතු කර ඇති බව සංගමය ජනාධිපතිවරයාට කියයි.

ජාතික අධ්‍යාපන ආයතනය යනු ගුරු අධ්‍යාපනයේ දී අසාර්ථක වූ සහ ගුණාත්මක නොවන ආයතනයක් බවත් එම ආයතනයේ දැනට ප්‍රධානියා සේ කටයුතු කරන ආචාර්ය උපාලි සේදර යනු ස්වකීය වෘත්තියේ අවම සදාචාරයවත් ආරක්ෂා කර නොගත් පුද්ගලයෙක් බවත් එම සංගමය ජනාධිපතිවරයා වෙත දන්වා සිටී.

මෙම තැනැත්තා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර පුද්ගලික සරසවියක ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර රජයෙන් හා පුද්ගලික අංශයෙන් වැටුප් දෙකක් ලබන අයෙක් බව හෙළි කරන එම සංගමය ඔහු ආයතන සංග්‍රහයේ විධි නියමයන් පමණක් නොව මූලික සදාචාරයන් ද උල්ලංඝණය කරන බව ජනපතිවරයාට ලිඛිතව දන්වයි.

මේ ලිඛිත දැන්වීම පිළිබඳ සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමයෙන් විමසූ විට ඔවුන් ලංකාසරට ප්‍රකාශ කළේ මෙම ලේකම්වරයා සියලු බලපෑම් කරනු ලබන්නේ තමන් ජනාධිපතිවරයාගේ සමීපයෙක් බව අඟවමින් නිසා බලාපොරොත්තු තබා ගත නොහැකි සේ නිලධාරීන් වැනෙන සුළු වී ඇති බවය.

ආචාර්ය උපාලි සේදර ජාතික අධ්‍යාපන ආයතනයේ කලක් ප්‍රධානියාව සිටි අයෙක් බව කියන එම සංගමය, දැනටත් නිල බලයෙන් එම ආයතන ප්‍රධානියා වී සිටින ඔහු මේ වනවිට සිය පුද්ගලික විශ්විද්‍යාලයේ උපාධි ධාරීන් ජාතික අධ්‍යාපන ආයතනය වෙත පොම්ප කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇති බව ද හෙළි කරයි.

Exit mobile version