රුධිර පරීක්ෂණයක් අතරතුර මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් මිය යයි..

මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම (35) අද උදෑසන සිදුකරන ලද වෛද්‍ය පරීක්ෂණයක් අතර තුර ඇති වී යැයි සැක කෙරෙන   සංකූලතාවයක් හේතුවෙන්    මිය ගියාය.

මාතර දිසා රෝහලේ දී ඇයගේ මරණය පශ්චාත්  මරණ පරික්ෂණය කළ     අධිකරණ වෛද්‍ය විශේෂඥ සිසිර සෙනවිරත්න මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබා දෙමින් ශරීර කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කළේය.

මිය යනවිට ඇය පස් මස් ගැබිණියක වී සිටියාය.  ඇය ප්‍රතිකාර ලබාගෙන තිබුණේ ගාල්ල මහ මෝදර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙනි.


එම වෛද්‍යවරයා විසින් ලබා දුන් පරීක්ෂණ තුනක් සිදු කර ගැනීම සඳහා ලේකම්වරිය අද උදෑසන 8.00 ට පමණ සිය මව හා පියා සමග මාතර පුද්ගලික රෝහලක් වෙත පැමිණ තිබේ.

පළමු පරීක්ෂණය සඳහා රුධිරය දී දෙවැනි පරීක්ෂණයට  ග්ලූකෝස් පැකැට්ටුවක් දිය කර පානය කර පැයකින් පසුව පැමිණෙන ලෙස දැනුම් දී  තිබුණු හෙයින් ඇය රෝහලේදීම ග්ලූකෝස් දියරය පානය කර සිය වාහනය තුළට වී ඉඳ තිබේ.

දෙවන රුධිර පරීක්ෂණය සඳහා රෝහලට ඇතුළ වන විට ඇය ප්‍රවේශ දොරටුවේදීම ඇද වැටුණු බවත්, පුද්ගලික රෝහලේ ඒ අවස්ථාවේ වෛද්‍යවරයෙක් නොසිටි නිසා මාතර මහ රොහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවත් හෙළි විය.

උදෑසන 9.45ට රෝහල් ගත කළ ඇය  එහි ප්‍රතිකාර ලබමින් සිටියදී  උදෑසන 10.45 ට පමණ මියගොස් ඇති බව වාර්තා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සිසිර සෙනවිරත්න ප්‍රකාශ කළේ ශරීරයෙන් ලබා ගන්නා ලද කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමෙන්  පසු ලැබෙන ප්‍රතිඵල මත මරණයට හේතුව ප්‍රකාශ කරන බවය.

 

 

Exit mobile version