අඹන්පොළ දී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කර එය පොලිසියට රැගෙන යාම සඳහා කටයුතු කළ පොලිස් සැරයන්වරියක ද සමඟ නො නවත්වා පලා ගිය මෝටර් රථයකට වෙඩි තබා නවත්වා එම මැර පිරිස අත්අඩංගුවට ගෙන පැහැරගෙන යනු ලැබූ පොලිස් කාන්තාව නිදහස් කරගැනීමට පොලිසිය ඊයේ (01) සමත් වූයේය.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
අඹන්පොළ පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සැකකටයුතු මෝටර් රථයක් අඹන්පොළ රෝහල අසලදී නවත්වා පරීක්ෂාවට ලක් කර තිබිණි.
මෝටර් රථයේ කාන්තාවන් දෙදෙනකු සිටි බැවින් කාන්තා පොලිස් සැරයන්වරියක එම ස්ථානයට ගෙන්වා ගැනීමට කටයුතු කළ පොලිසිය ඇය රථයට නැගුණු පසු මෝටර් රථය අඹන්පොල පොලිස් ස්ථානය වෙත රැගෙන යෑමට රියදුරුට උපදෙස් දී තිබේ.
එහෙත් රියදුරා රථය පණ ගන්වා අඹන්පොල පොලිස් ස්ථානය දෙසට ධාවනය කරන මුවාවෙන් කාන්තා පොලිස් සැරයන් වරිය වාහනය තුළ සිටිය දී පොලිසියත් පසුකර අධික වේගයෙන් පලා ගොස් ඇත.
මේ පැහැරගෙන යෑමත් සමග පොලිස් කණ්ඩායමක් රථය ලුහුබැඳ කිලෝමීටර් හතක් පමණ දුරක් ගොස් නිකවල යාය ප්‍රදේශයේ දී එම රථයට වෙඩි තැබීමට යි පියවර ගෙන තිබිණි.
අනතුරුව පිරිස පොලිස් භාරයට ගෙන ඇත. මෝටර් රථය පරීක්‍ෂා කිරීමේ දී එහි තිබී හෙරොයින් පැකට් කිහිපයක් පොලිස් භාරයට ගත් බව පොලිසිය සඳහන් කළේය.
මෝටර් රථය පැදවූ රියදුරු සහ එහි සිටි කාන්තාවන් දෙදෙනකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අඹන්පොල පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.