රට පාලනය කරන්නෙ පිටරැටියො..  ඔවුන් ඉන්නෙ රටේ පුරවැසියන්ගේ දේපල  පිට රටට විකුණන බිස්නස්  එකක

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානාය කියයි!

ඇමරිකානු පුරවැසි භාවය සහිත මේ පාලකයන්ගෙන් වැඩි පිරිසකගේ දේපළ තිබෙන්නේත්, දරු මුණුබුරන් ඉන්නේත් එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්වල බවත්   ඒ විදේශිකයන් මේ රටේ පුරවැසියන්ට අයිති සම්පත් විදේශී සමාගම්වලට පවරා දෙමින් සිටින ආකාරයට එරෙහිව මේ රටේ පුරවැසියන් එක්ව විරෝධතාවයක් ගොනු කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මාධ්‍ය අමතමින් ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.

“මේ අය ඇවිත් ඉන්නේ බිස්නස් එකකට බවපසුගිය ජනාධිපතිවරණයේදී අපි ජනතාවට අවධාරණය කළා. මොවුන් විවිධ විදේශ සමාගම්වලට අපේ රටේ දේපළ පවරා දෙන්න බලයට පත්වුණු කොන්ත්‍රාත්කරුවන් මිස  රටේ පාලකයන් නෙවෙයි.


අක්කර 13ක් චීනයට විකිණීම

මීට පෙර 2021.07.31 දින වරාය ඇමතිවරයා කොළඹ වරාය ආසන්නයේ ඉතාමත් වටිනා අක්කර 13ක් චීනයේ සී.අයි.සී.ටී. සමාගමට පවරා දෙන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සම්මත කරගත්තා.

අපේ වරාය අධිකාරියට විශාල පර්යන්ත ප්‍රමාණයක් අද අයිති නැහැ. නමුත් විශාල ආදායමක් උපයන්නේ  නාවික සේවා සැපයුම් ලබාදීම මගිනුයි. එමගින් 2018දී බිලියන 5.6ක ආදායමක් උපයා තිබෙනවා. පසුගිය වසර දෙකේ යම් ප්‍රමාණයක ආදායම් අඩුවෙන්න ඇති. නමුත් දැන් ඒ සේවා සැපයීමේ අයිතිය අවුරුදු 35කට චීන සමාගමට ලබාදී තිබෙනවා. ඒවෙනුවෙන් අක්කරයක් බදුදී තිබෙන්නේ මාසයකට රු. ලක්‍ෂ 8.5ක් වැනි මුදලකට. අක්කර එක හමාරක් සිමෙන්ති සමාගමකට ලබාදී තිබෙන්නේ මාසික කුලිය ලක්‍ෂ 22කට. නමුත් චීනයට ලබාදී තිබෙන්නේ ලක්‍ෂ අට හමාරක කුලියකට.

ජාතික දේපළ නිසි තක්සේරුවකට යටත් නොකර විශාල ධනයක් මේ අය උපයා ගන්නවා. ඒ ධනය සුදු කර ගැනීම සඳහා කළු සල්ලි සුදු කර ගැනීමේ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තා.

මීට පෙර පර්ක් ආයතනය වශයෙන් ජාතික සම්පත් විකිණීමේ මෙහෙයුම් සිදුකළ ආයතනය අහෝසි වූවාට පසුව සෙලෙන්දිවා ආයතනය පිහිටුවා එම කාර්යය කරගෙන යන්න පටන් ගෙන තිබෙනවා.

ඩොලර් හොයන්න ඓතිහාසික ගොඩනැගිලි විකිණීම

ඩොලර් මිලියන 400ක් උපයා ගන්න විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල, ගෆුර් ගොඩනැගිල්ල, හිල්ටන් හෝටලය සහ අනුබද්ධ ක්‍රීඩා සංකීර්ණය විකුණා දැමීම සඳහා රාජපක්‍ෂ ආණ්ඩුව අප්‍රේල් 31වැනිදා පත්‍රිකාවක් සම්මත කරගත්තා.

කොම්පඤ්ඤ වීදියේ ගුවන් හමුදාවට අයත් ඉඩමක්, අක්කර 42ක් වූ වැලිකඩ බන්ධනාගාර ඉඩම විකුණා දැමීමට සැලසුම්කර තිබෙනවා. දේපළ විකුණා ජීවත්වන නාස්තිකාර පියෙකුගේ භූමිකාව අද මේ පාලකයන් ප්‍රවේශ වී තිබෙනවා. හැබැයි ආණ්ඩුව බලයට ආවේ විකිණූ සම්පත් ආපහු ගන්නවා කියලා.

බහුතර ජනතාවක් ජාතික සම්පත් ආරක්‍ෂා කරගන්න පරමාර්ථයෙන් ඉන්නවා. මේ පාලකයෝ බලයට ආවේ අන්න ඒ ජනතාවගේ ලෙංගතුභාවය අඩු මිලට කොල්ලකමිනුයි.

කොවිඩ් වසංගත තත්වය හමුවේ කවුරුත් තිගැස්මට පත්වෙලා ඉන්න වෙලාවක යටිකූට්ටු ලෙස කොමිස්වලට රටේ දේපළවිකුණමින් තිබෙනවා.

රටේ දේපල විකුණන්නෙ බිස්නස් එකකට බලය ගත්තු පිටරැටියො…

රාජපක්‍ෂ පවුලට අයිති දේපළ විකුණනවා නම් අපි කවුරුත් බාධා කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාට හෝ ඔහුගේ පාලනයට රටේ සම්පත් පවරා දී නැති බව ඔවුන් තේරුම් ගත යුතුයි. මේ පාලකයන්ගෙන් වැඩි පිරිසකගේ දේපළ තියෙන්නේ, දරු මුණුබුරන් ඉන්නේ එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්වල. එවැනි පාලකයෝ මේ රටේ පුරවැසියන්ට අයිති සම්පත් විදේශ සමාගම්වලට පවරා දෙමින් තිබෙනවා. මේ අයට අපේ රට හෝ රටේ පුරවැසියන් පිළිබඳව ආදරයක් තිබෙනවා නම් වෙන රටක පදිංචි වෙන්නේ නැහැ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපේ රටේ මුල් පුටුවෙත් මුදල් අමාත්‍යාංශ පුටුවෙත් වාඩිවෙලා ඉන්නේ ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලියක ඉන්න අය. මේ තත්වය පරාජය කළ යුතු බව ජනතාවට අවධාරණය කරනවා. මේ ක්‍රියාදාමයට එරෙහිව පොදු ජනතාව කරළියට පැමිණිය යුතුයි.

Exit mobile version