ජයකාන්ත ලියනගේ –
නීත්‍යානුකූල නොවන අයුරින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුල් වූයේ යැයි නාවික හමුදාව මගින් අත් අඩංගුවට ගන්නා ලද ඉන්දීය ධීවරයින් 13 දෙනා 2025 පෙබරවාරි මස 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා අද (29) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පසුගිය ජනවාරි 27 දින යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු වල නිරත වූ බව කියන ඉන්දීය ධීවරයින් 13 දෙනෙකි. මෙම ධීවරයින් පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අත් අඩංගුවට ගෙන තිබිණි. ධීවරයින් 13 දෙනා ඉදිරි නිතීමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමටද නාවික හමුදාව කටයුතු කර තිබිණ.
ඉන්දීය ධීවර යාත්‍රා විශාල ප්‍රමාණයක් උතුරු නාවික හමුදා කදවුර මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදා යාත්‍රා යොදවා ක්‍රියාත්මක කල බවද නාවික හමුදාව කියයි. එහිදි නීති විරෝධී ධීවර කටයුතු මෙහෙයවමින් මත්ස්‍ය තොග රැස් කරමින් දිගින් දිගටම එම මුහුදු ප්‍රදේශයේ අනවසරයෙන් රැඳී සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් දහතුන් දෙනෙකු මෙසේ නාවික හමුදා භාරයට ගත් බව නාවික හමුදාව කියයි.
මෙම ධීවරයින් අත් අඩංගුවට ගැනීමට කටයුතු කල අවස්ථාවේදී ඉන්දීය ධීවරයෙකු නාවික හමුදාව සමග පොර බැදීමක් සිදුකර තිබෙන බවත් එහිදී එම නාවික හමුදා නිලධාරියාගේ රාජකාරි ගිනි අවිය ස්වයංක්‍රීයව පත්තු වි ඉන්දීය ධීවරයින් දෙදෙනකු තුවාල ලබා තිබෙන බවත් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. නාවික හමුදාව විසින් එම ධීවරයින් දෙදෙනා වෙත මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා කඩිනමින් යාපනය ශික්‍ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කෙරිණි. නාවික හමුදාව සිද්ධිය සම්බන්ධයෙන් කන්කසංන්තුරය පොලීසියට පැමිණිල්ලක් කල බවද නාවික හමුදා කියයි.
යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය, මල්ලාකම් පොලීසිය හා එක්ව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.







