රජය මැතිවරණය නොකෙරෙන තැනට වැඩ… අධිකරණ නියෝගයක් ඉල්ලා මැතිවරණ කොමිසම අධිකරණයට යයි…

election-commition

දෙරණ – 

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය ආයතන වෙත සුදුසු නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා එම දිවුරුම් ප්‍රකාශය තුළින් සඳහන් කර තිබෙන්නේ, ඉකුත් ජනවාරි මස 09 වනදා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා රථවාහනවලට සහ විදුලි ජනක යන්ත්‍රවලට වෙන් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය වැඩි කරන ලෙස ඉල්ලීමක් කළ බවය.

ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව දිවුරුම් පෙත්සමෙන් සඳහන් කරයි.

ඉන් අනතුරුව ඉකුත් ජනවාරි මස 18 වනදා මැතිවරණ කටයුතුවලට අවශ්‍ය ඉන්ධන, විදුලිය ඇතුළු පහසුකම් සම්පාදනය කරගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය යන ආයතනවල ප්‍රධානීන් සමග සාකච්ඡා පැවැත්වුණු අතර එහිදී විදුලිය හා ඉන්ධන සැපයීම අතිශය දුෂ්කර බව එම බලධාරීන් වෙතින් ප්‍රකාශ වූ බවත් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබේ.


ඉන් අනතුරුව මැතිවරණ කටයුතුවලට අවශ්‍ය ඉන්ධන හා විදුලිය සම්පාදනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ප්‍රමාණවත් මුදල් වෙන් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කළ බවත් එහි සඳහන්ය.

එහිදී මැතිවරණ කටයුතුවලට අවශ්‍ය ඉන්ධන හා විදුලිය සම්පාදනය කරගැනීම වෙනුවෙන් අදාළ ආයතන වෙත විදේශ විනිමය සපයා ගැනීම අතිදුෂ්කර වී ඇති බව මහ බැංකු අධිපතිවරයා විසින් දැනුම් දුන් බවත් එම පෙත්සමේ සඳහන් වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වය හමුවේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම ඉතා දුෂ්කර වී ඇති බැවින් අවශ්‍ය පහසුකම් සලසන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලය, පොලිස්පති, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත අවශ්‍ය හා සුදුසු නියෝග නිකුත් කරන ලෙසත් මැතිවරණ කොමිසම සිය දිවුරුම් ප්‍රකාශය තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

 

Exit mobile version