රංගා රිමාන්ඩ්….

ranga

දිනසේන රතුගමගේ –

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ශ්‍රී රංගා මාර්තු මස 27 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ  තබන ලෙස  වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.එම්. මොහමඩ් නිහාල් අද (20) නියෝග කළේය.

හිටපු මන්ත්‍රීවරයාට වවුනියාව මහාධිකරණයෙන් දුටු තැන අල්ලන ලෙස වවුනියාව මහාධිකරණ විනිසුරු මොහොමඩ් නිහාල්   විසින් පසුගිය 17 දා  වරෙන්තුවක් නිකුත් කරණු ලැබුවේ වවුනියාව මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් සදහා ඔහු පෙනී නොසිටීමත් සාක්කි කරුවන්ට යළි තර්ජනය කළ බවට අධිකරණ හමුවේ තොරතුරු අනාවරණය වීමත් සමගය.

එම වරෙන්තුවට අනුව ඔහු කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව 20 දක්වා රිමාන්ඩ් බාරයේ තබා වවුනියාව මහාධිකරණට ඉදිරිපත් කරණ ලෙස ගල්කිස්ස අධිකරණයෙන් නියෝගයක් ලැබී තිබුණි.

ඒ අනුව ඔහු වවුනියාව මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් පසුව මාර්තු මස 27 වෙනිදා දක්වා ශ්‍රී රංගා  රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග  ලැබුණි.


ශ්‍රී රංගාට  එරෙහිව චෝදනා එල්ල වූයේ  2011 වසරේ මාර්තු මස 30 වෙනිදා වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී  ඔහු  විසින් පදවා ගෙන ගිය ඔහුට අයත්  ලියාපදිංචි නොකළ  වාහනයක් ඔහුගේ පාලනයෙන් ගිළිහී ගොස් සෙට්ටිකුලම රෝහලේ තාප්පයක ගැටීම නිසා  ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයෙකු වන අලව්ව, නවතල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි තිදරු පියකුවූ සැරයන්  ජි.උදය ජයමිණි පුෂ්පකුමාර  යන අය මිය යාමත් එම සිද්ධියේ සාක්කි වෙනස් කිරීමත් ඇසින් දුටුවන්ට තර්ජනය කිරීමත් යන චෝදනාවන්ය.

වවුනියාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහය මත සාක්කි වෙනස් කරමින් ඒ අවස්ථාවේදී රථය පදවා ගෙන ගියේ මියගිය පොලිස් සැරයන් වරයා බවට අධිකරණය හමුවට තොරතුරු ඉදිරිපත් කළ එවකට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ ශ්‍රී රංගා මේ සිද්ධිය දුටු පිරිසකට තර්ජනය කොට තිබුණි.

මේ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතාවයක් මත යළිත් වරක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවැත්වූ අවස්ථාවේදී අනතුර සිදුවන විට වාහනය පදවා ගෙන ගියේ  එවකට මන්ත්‍රීවරයෙකු වූ ශ්‍රී රංගා බවට  කරුණු අනාවරණය වී තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් සාක්කි වසන් කිරීම හා ව්‍යාජ තොරතුරු සැපයීම  අපරාධයක් සැගවීම ඇතුළු  චෝදනා කීපයක් සම්බන්ධයෙන් එවකට වවුනියාවේ ජෙයෂ්ඨ   පොලිස් අධිකාරීවරයා වශයෙන් කටයුතු කළ නිලධාරියා ඇතුලු හතර දෙනෙකුට එරෙහිව හා ශ්‍රී රංගාට එරෙහිව වවුනියාව  අධිකරණයේ පනවන ලද නඩුව පසුව  මහාධිකරණය වෙත මාරු කොට ඇත.

Exit mobile version