දිනසේන රතුගමගේ –
යාපනයේ වඩමරච්චි ප්‍රදේශයේ සරුංගලයක් යවමින් සිටි තරුණයෙකු තවත් සරුංගල් ලණුවක පැටලීම නිසා අඩි හැටක් පමණ උසකට ඇදී ගිය පුවතක් අද (17) වාර්තා විය.
තරුණයා ඉහල අහසට ඇදී යාමත් සමගම විශාල පිරිසක් එම ස්ථානයට එක් රොක් වී කෑ කෝ ගසමින් තරුණයාට ජීවිතය ගලවා ගන්නා අන්දම ගැන විවිධ උපදෙස් දෙන්නට පටන් ගෙන තිබේ.
ඔහු ලණුව සමග ඉහල අහසේ පාවෙමින් සිටියදී විනාඩි හතරකට පමණ පසුව ලණුවේ මැද කොටස අසල වූ තල් ගසක පැටලීමෙන් පසුව තරුණයා ඉහල අහසට ඇදී යාම වැලකී ගොස් ඇත.
මේ නිසා නිසොල්මන් වූ ලණුව දිගේ කිසිදු අතුරු අන්ත්‍රාවකින් තොරව තරුණයාට බිමට බැස ගන්නට හැකි වී තිබේ.
යාපනයේ ඉතා විශාල සරුංගල් යැවීම වසර ගණනාවක සිට සිදුවන අතර ඒවාට නූල් වෙණුවට විශාල කඹ යොදා තිබීමත් ඇතැම් සරුංගල් අහසට යැවීම පිණිස විදුලි මෝටර් සවි කිරීමත් සිදු කරණු ලබයි.
මීට වසර හතරකට ඉහතදී ද යාපනයේ තරුණයෙකු සරුංගලයක ලණුවක පැටලීම නිසා අඩි හතලිහක් පමණ ඉහළ අහසට ඇදී ගිය අතර විනාඩි පහකට පමණ පසුව ඔහු ලණුව අතහැර බිමට පතිත වී තිබුණි.
එහිදී ඔහුගේ පාද වල අස්ථි බිදී මාසයකට වඩා වැඩි කාලයක් ප්‍රතිකාර ලබා ගෙන තිබුණි.







