යළිත් රට ගිනි නොතබා ගොල්ෆේස් අරගලයට ගැසූ මැරයන් සතියක් තුළ අත්අඩංගුවට ගන්න…. අරගලකරුවෝ පොලිස්පතිට කියති!

ගෝල්ෆේස් පිටියේ සාමකාමී අරගලකරුවන්ට පහර දී දින හතක් ගතවීමෙන් අනතුරුවත් එම සාහසික අපරාධයට නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධව විරෝධය පල කිරීමට   කොළඹ පොලිස් මූලස්ථානය අසලට පැමිණි  සමාජවාදී තරුණ සංගමයේ තරුණ තරුණියන්   මෙම අපරාධයේ මහ සැලසුම්කරුවන් සතියක් තුළ අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිට දන්වා සිටින බවත්, එසේ නොවුනහොත් රට පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වනු ඇති බවත් කියා සිටියහ.  

පොලිස්පතිවරයා වෙනුවෙන් ඔවුන් හමුවීමට පැමිණි පොලිස්පති ලේකම් කාර්යාලයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. කීර්තිපාල හමුවේ තරුණ සමාජවාදී සංගමයේ උද්ඝෝෂකයින් කියා සිටි කරුණු තුනක් විය.

පළමු කාරණාව මේ අපරාධය සිදුකළ බවට සියලුම ඡායාරූප සාධක, වීඩියෝ සාධක, සහිත මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත ඇතුලු දේශපාලන මැරයින් සතියක් තුළ අත්අඩංගුවට ගැනීම, දේශපාලන ව්‍යාපෘතියක් දියත් කරමින් සිය රාජකාරිමය වගකීම පැහැර හරිනුලැබූ දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පැවැත්වීම, සැලසුම් සහගත අපරාධකරුවන් පසෙක සිටිය දී මේ අරගලකරුවන්ගේ ජීවිතය රැක ගැනීම වෙනුවෙන් මගට බසින ලද පිරිස් අත්අඩංගුවට ගැනීම නැවැත්වීම සහ අත්අඩංගුවට පත් පිරිස් නිදහස් කිරීම එම කරුණු අතර විය.

අද වනවිට තුන්සියයකට අධික පිරිසක් රට වටා අත්අඩංගුවට ගෙන ඇති නමුත් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අරගලකරුවන්ට පහර දුන් එක් පුද්ගලයෙක් පමණක් බවත් මෙම උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.


එහිදී නියෝජ්‍ය පොලිස්පති කේ.බී.කීර්තිරත්න ඇමතූ උද්ඝෝෂකයෝ මෙසේ ද පැවසූහ.

“දේශබන්දු තෙන්නකෝනය මයිනාගෝගමේදි අපට පොරොන්දුවුනා අපට  ගහන්න දෙන්න නෑ කියලා. එහෙම කියලා අර පොලු ගත්ත මැරයො එව්වා අපට ගහන්න. අපේ  හට් කැඩුවා. ගිනි තිබ්බා. කොල්ලන්ගෙ  ඔළු පැලුවා. ඔයාලට බැරිවුනා මහත්තයො අපිව ආරක්ෂා කරන්න. ඔයාල රැක්කෙ අර මිනීමරු දේශපාලකයින්ගෙ බැලයො. ඒත් මේ රටේ මිනිස්සු අපිව රැක්ක. එහෙම කළේ අපි කළේ හොඳ වැඩක් නිසා.“

“මේ රටේ මිනිස්සු අපිව රැක්කෙ නැතිනම් අද අපේ ජීවිත නෑ. 88 -89ක් මේ රටේ පාලකයො හදනවා එහෙමනම්. අපිව බේරගත්තු කිසිම මිනිහෙකුට අපරාධයක් වෙන්න දෙන්නෙ නෑ අපි. සංවිධානය වෙලා ගැහුවෙ ඒ මිනිස්සු නෙමෙයි. සංවිධානය වෙලා අපිට ගැහුවේ මහින්දගෙ මැරයො. උන්ගෙන් අපිව බේරගන්නයි මිනිස්සු පාරට බැස්සෙ. ඒ සංවිධානය වුනු මිනිස්සු නෙමෙයි. උන්වයි දැන් අත්අඩංගුවට ගන්නෙ. “

“ඒ අපරාධය නවත්වන්න. දැන් ඔයාලගෙ පොලිසිවලට ප්‍රාදේශීය සභාවෙ සභාපතිලත් ඇවිත් ලිස්ට් දෙනවාව මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න. ඔයාලත් අත්අඩංගුවට ගන්නවා. හැබැයි මේ විනාසය කළ අපරාධකරායො සම්බන්ධව කිසිම දෙයක් ඔයාලට කරන්න බැරි වෙලා තියනවා.“

“ ඔයාලට මේ දේ කියන්න ඕන. ඔයාලව ආරක්ෂා කරන්නෙ ඔය දේශපාලකයො නොවෙයි. මේ රටේ ජනතාව. ඩීල් නොදා පොලිස්පතියට නීතිය කරන්න කියන්න. පොලිස්පතියට ඒ පණිවිඩය දෙන්නයි අපි ආවේ. ඇයි ඔය අපරාධයට හවුල් වෙච්චි දේශබන්දුවගෙ වැඩ තහනම් කරන්න පොලිසියට බැරි. “

“ඔයාල හදන්නෙ මිනිස්සුන්ව  අත්අඩංගුවට ගන්න නම් කී දෙනෙක් අත්අඩංගුවට ගන්න ද?. මරන්න නම් කී දෙනෙක් මරන්න ද? අපි මේ ප්‍රශ්නය පොලිස්පති එක්ක විසඳගන්න ඕන ඒකයි.  ඔබතුමා දැක්ක ජනතාවගෙ බලය මොකක්ද කියලා. මේ පුරසාරම් කියපු චන්ඩි පාලකයො අද බංකර්වලට කොටුකළේ අපි නෙමෙයි . මේ මහා ජන බලය.  තවත් අසාධාරණයට එරෙහිව නැගුනු මිනිස්සුන්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා.“

“සතියක් ඇතුළත  දේශබන්දුගෙ වැඩ තහනම් කරලා පරීක්ෂණයක් තියන්න. මහින්ද, ප්‍රසන්න, ජොන්ස්ටන්, සනත් නිශාන්ත ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න. දිගට හරහරට දේශපාලන උවමනා මත සිදුවන මිනිස් දඩයම නවත්වන්න. දඬුවම් දීම උඩින් පටන් ගන්න…“

මේ පණිවිඩය අවතක්සේරු නොකරන ලෙස පොලිස්පතිට දන්වනැයි ද උද්ඝෝකයෝ නියෝජ්‍ය පොලිස්පති කීර්තිපාලට දැන්වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version