මොඩර්නා ෆයිසර් වැඩිහිටියන්ට සයිනෝෆාම් තරුණ අයට… ස්වාධීන විශේෂ මණ්ඩලය මෙරට කොවිඩ් ගැන දුන් අට වැදෑරුම් නිර්දේශ මෙන්න

එන්නත්කරණයේදී වයය අනුව වැඩි ප්‍රතිශක්තියක් ලබා දෙන එන්නත් වර්ග තෝරා ගත යුතු බවත් ඒ අනුව සයිනෝෆාම් එන්නත තරුණ කණ්ඩායම්වලටත් ෆයිසර්, මොඩර්නා වැනි එන්නත් වයස්ගත පුද්ගලයන් කෙරෙහි ප්‍රතිශක්ති ප්‍රතිචාරය වැඩි බැවින් එම එන්නත් ඔවුන්ටත් ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට කොවිඩ් වසංගතයේ ශ්‍රි ලංකාව තුළ වර්තමාන තත්ත්වය පිළිබඳව විශේෂඥ නිර්දේශ අටක් ඉදිරිපත් කරමින් මම ක්ෂේත්‍රයට සෘජු සම්බන්ධයක් ඇති ප්‍රමුඛතම පෙළේ ස්වාධීන විශේෂඥ මඩුල්ලක් විසින් නිර්දේශ කරනු ලැබ ඇත.

මෙම විශේෂඥ මණ්ඩලය විසින් කොවිඩ් වසංගතයේ වර්තමාන පසුබිම සහ එය පාලනය සම්බන්ධයෙන් සිදු කරන ලද බුද්ධි කලම්බන සැසියකින් අනතුරුව නිර්දේශ අටක් ඉදිරිපත් කරමින් මේ බව ප්‍රකාශ කරති.

මෙම විශේෂඥ මඩුල්ල තම වාර්තාවෙන් නිර්දේශ අටක් ඉදිරිපත් කර ඇති අතර එයින් එකක් වන්නේ එන්නත් ලබා දීමේදී මෙම එන්නත්වල ක්‍රියාකාරීත්ව පිළිබඳව අවබෝධයකින් යුතුව එය ලබා දිය යුතු බවය.

ඒ අනුව වඩා වැඩි ප්‍රතිදේහ ප්‍රතිචාරයක් වියපත් පුද්ගලයන්ගේ ශරීර තුළ ගොඩ නැගීමට සයිනොෆාම් එන්නතට සාපේක්ෂව මොඩර්නා සහ ෆයිසර් සමත් වන බව පෙනී ගොස් ඇත. ඒ අනුව මෙම නිර්දේශය ඔවුන් ඉදිරිපත් කරන බව එහි සඳහන් කර ඇත.

එසේම දැනට වේගයෙන් පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් යොමු කරවන ලෙසත් ලිහිල් කොට ඇති ඇතැම් මංගල උත්සව, අවමංගල්‍ය උත්සව, ආගමික උත්සව වැනි ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන සුපිරි පැතිරවීමේ ඉසව් පාලනයට ලක් කරවන ලෙසද මෙම විශේෂඥ මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබ ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ආසියානු කලාපය භාර කොවිඩ් පාලනය සම්බන්ධ විශේෂ නියෝජිතයා වන විශේෂඥ වෛද්‍ය පාලිත අබේකොන් ප්‍රධාන පහසුකම් සපයන්නා ලෙස ක්‍රියා කරන මෙම කමිටුව ට මෙරට ප්‍රමුඛතම පෙළේ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරුන් සහ වෛද්‍යවරුන් 15 දෙනකු සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා නියෝජිතවරිය වන වෛද්‍ය ආලකා සිං ඇතුළු නියෝජිත කණ්ඩායමකින් මෙම විශේෂඥ මණ්ඩලය සමන්විතය.

ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මෙසේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


  1. ඩෙල්ටා ප්‍රභේදය ගැන දැඩි අවධානය යොමු කරන්න – මේ වනවිට ලෝකය පුරා ඉතා වේගයෙන් පැතිරෙන මෙම වෛරස ප්‍රභේදයේ හැසිරීම සහ වෙනත් රටවල් ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත් පිළිබඳව අවධානය යොමු කර එය ව්‍යාප්තිය පාලනය ට අවශ්‍ය පියවර ගත යුතු බවට නිර්දේශ කර ඇත.
  2.  රෝගය ව්‍යාප්තිය පිළිබඳව නිසි ලෙස අවබෝධ කර ගත හැකි ආකාරයට දත්ත ලබා ගැනීම අවම වශයෙන් රෝහල් පසුබිම්කර ගෙන නවත් ශක්තිමත් කළ යුතුය. මේ වනවිට රෝගය හදුනා ගැනීමට සිදු කෙරෙන පී.සී.ආර් ඇතුළු පරීක්ෂණ පහසුකම් සීමා හිත වී පසුබිමක් තුළ රෝග ව්‍යාප්තියේ සැබෑ ස්වරූපය හදුනා ගැනීම යටපත් වී ඇත. එබැවින් අඩුම තරමින් රෝහල්වලට රෝග ලක්ෂණ සහිතව එන පුද්ගලයන්වත් පරීක්ෂාවට බදුන් කර දත්ත ඒකරාශී කළ යුතු බවට මෙම විශේෂඥයෝ නිර්දේශ කරති.
  3. රෝගය සහ රෝග ව්‍යාප්තියේ සැබෑ ස්වරූපය නිසි ලෙස විමසමින් විද්‍යාත්මක ව අධ්‍යයනය කරමින් සබුද්ධිතකව තීරණ ගැනීම.
  4. සමාජ ක්‍රියාකාරකම් සම්බන්ධ සෞඛ්‍ය නිර්දේශ දැඩිව ක්‍රියාත්මක කළ යුතු වන අතර ජනතාව ඒකරාශී වන ඉසව් වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමිය යුතුය.
  5. රෝහල්වල රෝගීන් කළමනාකරණයට අවශ්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කළ යුතු වන අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය සහය සහ පහසුකම් තවදුරටත් ලබා දෙන අතර රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවාසවල සිට කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීම.
  6. එන්නත්කරණයේදී පුද්ගලයන්ගේ වයස අනුව සහ අවදානම් තත්ත්ව මත වැඩිම ප්‍රතිඵල ලබා දෙන ආකාරයේ එන්නත්කරණයක් සැලසුම් කළ යුතුය. නිදසුනක් ලෙස සයිනෝෆාම් එන්නත වියපත් පුද්ගලයන් තුළ ප්‍රතිදේහ ප්‍රතිචාර දැක්වීම මොඩර්නා සහ ෆයිසර් එන්නත්වලට සාපෙක්ෂව අඩුය. මොඩර්නා ෆයිසර් එන්නත් වියපත් සහ වෙනත් සංකූලතා සහිත රෝගීන් තුළ වැඩි සාර්ථකත්වයක් පෙන්වන බව තහවුරු වී ඇත.
  7. රෝගය පාලනය සඳහා මහජන උනන්දුව වැඩි කරවන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.
  8. එන්නත්කරණය සම්බන්ධයෙන් ජනතාව උනන්දු කරවීමටත්. අවදානම් සහගත පුද්ගලයන් කොවඩ් හේතුවෙන් මරණයට පත්වීම වළකාලීමට නම් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත් එන්නත් ලබා ගත් පමණින් තමන් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවට නොසලකා තවදුරටත් සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කළ යුතු වන බවටත් වන පනිවිඩ ජනතාව තුළට සාර්ථකව සම්ප්‍රේෂණය වන සන්නිවේදන ක්‍රමෝපායයක් සකස් කළ යුතුය.

Exit mobile version