මොඩර්නා එන්නතේ සැඟවූ “අද්භූත සංයෝගයක“ “අදෘෂ්‍යමාන බලය“ වින්දනය කරන නුවර මිනිස්සු

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර ප්‍රදේශයේ ජනතාවට සිදු කෙරෙන එන්නත්කරණයේදි ලබා දෙන මොඩර්නා එන්නත පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍යවල විශාල ප්‍රචාරයක් යයි. විශේෂයෙන් මහනුවර ජනතාව අතර මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති අතර එයින් කියවන්නේ ඇමෙරිකාවේ හදන මොඩර්නා එන්නත ලබා නොගන්නා ලෙසය.

එසේ පළවන එක් වීඩියෝවක මෙම මොඩර්නා එන්නත මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස්ගේ සම්පූර්ණ ආයෝජනයෙන් සිදු කෙරන එකක් බවත් එයට අන්තර්ගත කොට ඇති එක්තරා සංයෝගයක් එන්නත හරහා අපේ සිරුරුවලට ඇතුළු වන අතර එමගින් යමකුට මහනුවර මිනිසුන්ගේ පාලනය තනි ස්ථානයකට ගත හැකි මට්ටමක් ඇති විය හැකි බවටද අනතුරු ඇඟවීය. මේ වනවිට මේ ප්‍රචාර යවන අය සොයන ලෙස සහ නුවර වෛද්‍ය නීති අංශයේ ප්‍රධානියා පොලිසියේ පැමිණිල්ලක් ද දමා ඇත. එයට හේතුව ඇත්තේ මේ ප්‍රචාර නිසා ජනතාව තුළ ඇතිව තිබෙන ව්‍යාකූල භාවයයි.

ශ්‍රි ලංකාවටම එක ගුරුවරයකුගෙන් ඔන්ලයින් ඉගැන්විය හැකි බව විශ්වාස කරන, වත්කම් හෙළිකරගත නොහැකි දූෂිතයන්, හන්තානේ රක්ෂිතයේ ඉඩම් විලි ලජ්ජාවක් නැතිව තමන්ට ලියා ගන්නා පුද්ගලයින් රටේ නිති හදන තැනට යවන මහනුවර ජනතාව තවත් අදිසි බලවේගයකින් පාලනය කිරීමක් අවශ්‍යද යන්න සැක සහිත වුවද අප මේ කතාවේ ඇත්ත නැත්ත පිළිබඳව විමසන්නට උත්සුක වූයේමු.

මොඩර්නා එන්නත විවේචනය කරන්නන් එයට අල්ලාගෙන තිබෙන සංයෝගය වන්නේ එස් එම් 102 (SM 102) නැමැති සංයෝගයයි. මෙම සංයෝගය ශරීරයට ඇතුළු වී, ජංගම දුරකථනවල 5G තාක්ෂණය පැමිණි කල මිනිසුන් අදිසි පාලනයකට ලක් කළ හැකිය යන්නය. මේ ප්‍රචාර නිසා මේ වනවිටත් මහනුවර ජනතාව යම් කැලඹීමකට ලක්ව ඇත. එන්නත විදගත් මිනිස්සු අවිනිශ්චිතතාවෙන් පසුවෙති.

නුවර ඇත්තන්ට ලබා දුන් මොඩර්නා එන්නත නිපදවෙන්නේ ඇමෙරිකාවේය. ඒ මැසචුසෙට්ස් හි ප්‍රධාන කාර්යාලය කර ගත් මොඩර්නා සමාගමය. මෙම සමාගමට අරමුදල් සපයන්කෙන් බිල් ගේට්ස් බව කියවුණද එහි බිල්ගේස්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව තහවුරු කර ඇත .

ලෙබනන් ඇමෙරිකානු මිශ්‍ර සම්භවයක් සහිත නවුබාර් අෆෙයාන් ගේ ප්‍රධාන ආයෝජනය මත මෙම සමාගම 2010 වසරේ බිහි වන්නේ තවත් ජෛව විද්‍යාඥ කණ්ඩායමක්ද එහි නිර්මාතෘන් ලෙස හවුල් කර ගනිමිනි. වසංගතය හටගත් කාලයේදීම එන්නතක් නිපදවීමේ පර්යේෂණවලට අවධානය යොමු කළ මොඩර්නා සමාගමට එය භාවිත කළ හැකි ඖෂධයක් ලෙස අදාළ බලධාරීන්ගෙන් මුල් වරට සහතික කර ගන්නේ 2020 දෙසැම්බර් මාසයේදීය.

මෙහි අඩංගු ප්‍රධාන ක්‍රියාකාරී සංඝටකය වන්නේ කොවිඩ්වලට හේතුවන වෛරසයේම ප්‍රවේණික ද්‍රව්‍ය නිස්සාරණයෙන් නිපදවන ලද ප්‍රෝටීනයකි. රෝග කාරක වෛරසයට එරෙහිව අප සිරුර තුළ ප්‍රතිශක්තියක් ඇති කරවන ප්‍රතිදේහ නිපදවන්නේ මෙමගිනි. ඊට අමතරව මෙම එන්නතේ පවතින සෙසු අන්තර්ගතයන් වන්නේ සෝඩ්යම් ඇසිටේට, සුක්රෝස්, ට්‍රෝමිතමයින් හයිඩ්‍රොක්ලෝරයිඩ්, ඇසිටික් අම්ලය, කොලෙස්ටෙරෝල්, තවත් රසායනික සංයෝග දෙකක් සහ එස්එම් 102 නම් සංයෝගය අඩංගු වෙයි.
ලෝකයේම සෙවීමට බැලීමට මෙන්ම සමාජ මාධ්‍ය ජාලවල ඇල්ම බැල්ම යොමුව තිබුණේ එහි අන්තර්ගත අක්‍රිය සංයෝගයක් වන එස්.එම් 102 වෙතය. ඇතැම්හු එය ක්ලෝරීන් සමඟ එක් කළ සංයෝගයක් බව ප්‍රකාශ කළහ. මේ සමාජ මාධ්‍ය ප්‍රචාරය ලෝකය පුරා පැතිරුණේ කොවිඩ් වෛරයටත් වඩා වේගයෙන්ය.

මේ නිසාම කරුණු නිරවද්‍යතා පරීක්ෂා කරන්නෝ අන්තර්ජාලය පමණක් නොව එන්නත් නිෂ්පාදනය සහ ජෛව රසායනයට අදාළ විද්‍යාගාර පීරා මේ එස්.එම් 102 සංයෝගය ගැන සොයන්නට පටන් ගත්හ. ඒ සොයාගැනීම්වලින් පවසන්නේ එස්.එම් 102 යනු කෘත්‍රිමව නිපදවන ලද ලිපිඩ වර්ගයක් බවය. මෙම ලිපිඩ වර්ගය එන්නතේ සක්‍රිය කොටස වන එම් ආර් එන් ඒ කොටසම සාර්ථකව ශරීර තුළට ඇතුළු කිරීමේ සහයකයකු ලෙසින් ක්‍රියාත්මක වෙයි. මෙම සංයෝගය සම්බන්ධයෙන් තවත් විවිධ කට කතාද පැතිරිණි.

මොඩර්නා එන්නතේ පමණක් අඩංගුව වන මේ අද්භූත සංයෝගය කිසිසේත් විෂදායක එකක් නොවන බව සහතික කර ඇත. ඇමෙරිකාවේ නිල වශයෙන් පවතින රසායනික සංයෝගවල විෂ පිළිබඳ ලේඛන සහ ග්‍රන්ථ කිසිවක එය විෂ සහිත හෝ අනතුරුදායක එකක් ලෙස සඳහන් වන්නේ නැත. එම ලිපිඩමය සංයෝගය ඖෂධවලට මුසු කිරීම සඳහා ආරක්ෂිත සංයෝගයක් ලෙස කෘත්‍රිමව නිපදවනු ලැබ ඇත.

මිනිස්සු විද්‍යාවට වඩා අවිද්‍යාව ප්‍රිය කරති. ඔවුහු අද්භූද දේ සිදුවී අද්භූද ලෝකයකට ඇද වැටීමේ අද්භූද මානසිකත්වය වින්දනය කරති. ඉන් ආශක්තක වනවිට ඒ මෝහනයෙන් මිදෙන්නට අකමැති වෙති. බටහිරටත් වඩා දකුණු ආසියානුවන් මේ වින්දනයට සමීපය. නුවරදී අපට පෙනෙන්නේ ඒ වින්දනයේ මිහිරය.

Exit mobile version