මැදි දුර – දිගු දුර ධාවන ක්‍රීඩකයන්ට කෙන්යාවේ පුහුණුවක්

ලෝක ශූරයන් බිහිකරන කෙන්යාවෙන් මෙරට දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුව ලැබීමට අවස්ථාව ලබාදෙන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මෙරට මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙම අවස්ථාව ලබාගත් බව අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව‍, මෙම වසර අවසානයේ හෝ ලබන වසරේ මුල් කාර්තුව තුළ මධ්‍ය සහ දිගුකාලීන පුහුණුවීම් සඳහා ශ්‍රී ලාංකික මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු කෙන්යාව බලා පිටත් කර යැවීමට නියමිතයි.

කෙන්යානු ක්‍රීඩා අමාත්‍යවරිය සමග තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙම අවස්ථාව ලැබී තිබේ.


පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාව හා කෙන්යානු රාජ්‍යය අතර ද්විපාර්ශ්වික හා ජන සමාජ අතර මිත්‍රත්වය වර්ධනය කරගැනීම සඳහා ඵලදායි හමුවීම් කිහිපයකට සහභාගී වූ අමාත්‍යවරයා, විශේෂයෙන්ම එහිදී කෙන්යානු ක්‍රීඩා අමාත්‍යවරිය වන ආචාර්ය අමීනා මොහොමඩ් මහත්මිය සමග මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා මට්ටම තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා කළේය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව හා කෙන්යාව අතර ක්‍රීඩා ක්ෂේත්‍රයේ සම්පත් මෙන්ම ප්‍රවීනයන්ගේ අත්දැකීම් ද හුවමාරු කරගනිමින් සහයෝගයෙන් ක්‍රියා කිරීමට එකගත්වය පළවිය.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ දස්කම් දක්වන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි පුහුණුව හා නිරන්තර දිරිගැන්වීම් ලබාදෙමින් ඔවුන්ගේ දක්ෂතා ඔප මට්ටම් කරගැනීමට ඉඩ ප්‍රස්තාව සලසාදීමේ අරමුණින් මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙම අවස්ථාව ලබාගැනීමට අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන Eliud Kipchoge (5000m – Men), Abel Kirui ( marathon – Men), Ezekiel Kemboi (3000m – Men), Hellen Obiri (5000m – Women), Beatrice Chepkoech (3000m – Women – steeplechase) වැන්නන් බිහි කළ කෙන්යාව වැනි රටක පුහුණුව ලැබීම ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන මහඟු අවස්ථාවකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලැබෙන මෙවැනි අවස්ථාවන් නිසි අයුරින් ප්‍රයෝජනයට ගෙන පුහුණුවීම් කටයුතු සිදුකර තම දක්ෂතා ඔප මට්ටම් කරගනිමින් ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ කරා ළඟා වනු ඇතැ‘යි තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

Exit mobile version