මාසෙකට ඩොලර් කෝටි 2ක මාළු කොල්ල කන ඉන්දීය ධීවරයන් ගැන උතුරේ ධීවර සංගම් තමිල්නාඩු මහ ඇමතිට ලියයි…

ලංකාවේ ලක්ෂ 20ක මිනිස්සු අනාථයි...

Indian-fishing-boat-

දිනසේන රතුගමගේ –

කාලයක සිට පවතින ඉන්දීය ධීවර ප්‍රශ්නයට වහාම විසඳුමක් සපයා දීමට කටයුතු යොදන ලෙස ඉල්ලා උතුරේ දිස්ත්‍රික්ක හතරක ධීවර සංගම් විසින්  තමිල්නාඩු  මහ ඇමති එම්.කේ ස්ටාර්ලින්  වෙත ඊයේ ( 6 )  ලිපියක් යවා තිබේ.

යාපනය ධීවර සමීති සමූහයේ සභාපති එස්.අන්නාරාසා  පැවසුවේ යාපනය මුලතිව් කිළිනොච්චි හා මන්නාරම යන දිස්ත්‍රික්ක හතරේ පුද්ගලයින් මිලියන දෙකකට වඩා වැඩි පිරිසක් මෙම ඉන්දීය ධීවර ප්‍රශ්නය හමුවේ අසරණ වී සිටින බවයි.

වසර ගණනාවක සිට පැවත එන මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදීමට සෑම රජයක් මෙන්ම සෑම ධීවර නායකයෙකුම අපොහොසත් වී සිටීම නිසා උතුරේ එම දිස්ත්‍රික්ක වල ධීවර ජනතාවට මසකට රුපියල්  මිලියන 4000 ක පමණ අලාභයක්  සිදුවන බවද තමිල්නාඩු  ප්‍රධාන අමාත්‍යවරයාට ලිපිය මගින් දැනුම් දී තිබේ.


ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා පැමිණෙන අවස්ථාවේදී  ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන බව පවසමින් සියලු දෙනාම උතුරේ ධීවරයින්ව රවටන බව පැවසූ අන්නාරාසා  කියා සිටියේ වසර ගණනාවක් තිස්සේ පවතින මේ ප්‍රශ්නය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග කෙරෙන විනාඩි දහයක සාකච්ඡාවකින් විසදා ගත නොහැකි බවය.

මේ නිසා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාට මෙහිදී විශාල කාර්යයක් ඉටු කල හැකි නිසා ඔහු වෙත සවිස්තරාත්මක ලිපියක් යැවූ බවද සභාපතිවරයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුද්ධය හේතුවෙන් උතුරේ ධීවරයින්ට විශාල හානියක්ද සුනාමිය නිසා තවත් විශාල හානියක්ද සිදුව ඉතා අසරණ වී සිටින බැවින් ඉන්දීය ධීවරයින් පැමිණ සිදු කරන බලහත්කාර ක්‍රියාවන් වහාම නතර කොට දීමට යම් වැඩ පිළිවෙළක් සකස් කරණ ලෙසද එම ලිපියෙන් ඉලීමක් කොට තිබේ.

Exit mobile version