“මාධ්‍ය නාළිකා ගැන මම නීතීඥයන් ගෙන්වා කතා කළ බව ඇත්ත” – කෙහෙලිය මහනුවර දී කියයි

මාධ්‍ය නිදහස වැරදි ලෙස අර්ථකතනය කරමින් රටේ නීතිමය රාමුවට පිටින් ගොස් මාධ්‍ය මුදලාලිලාට අවශ්‍යය ලෙස තක්කඩි වැඩ කරන්නට ඉඩදිය නොහැකි බවත් එවැනක් සඳහා කවුරුන් හෝ උත්සහ කරන්නේ නම් පවතින නීතිමය රාමුව යටතේ අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත් පසුබට නොවන බවත් ජනමාධ්‍ය අමාත්‍ය,සම කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මාධ්‍ය නිදහස හා නීතීය පටවලා නොගත යුතු බවත් කිසිවෙකුත් වල්බූරු නිදහසක් බලාපොරොත්තු නොවිය යුතු බවත් ඒ මහතා කීය. මහනුවරදී ඊයේ (10) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙසේද පැවසුවේය.


“කිසිම මාධ්‍ය ආයකනයක විකාශන බලපත්‍රය අත්හිටුවීමේ තීරණයක රජය නැහැ.ඒක සම්පූර්ණ වැරදි කතාවක්.පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක වරයා මේ සම්බන්ධව කතා කළා.ඒ සම්බන්ධව දැනුම්දීමක් කරලා තිබුණේ නැහැ.එතුමා කළේ මාර්කටිං වැඩක්.ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන් ප්‍රශ්නයක් අහන්න තිබෙනවා කියලා දැනුම් දෙන්න තිබුණා.පාර්ලිමේන්තුවේ හැම වෙලාවෙම හැම ඇමැතිවරයෙක්ම මන්ත්‍රීවරයෙක්ම ඉන්නේ නැහැ.වෙනත් හදිසි වැඩ තිබෙනවා.ඒවා අතරතුර පාර්ලිමේන්තු කටයුතු වලට සම්බන්ධ වෙනවා.එහෙම නැති වෙලාවක ප්‍රශ්නයක් අහපු එක පාළු අම්බලමක වළං බිඳිනවා වගේ වැඩක්.සම්පූර්ණ බොරුවක් කළේ.රහසිගතව නීතීඥවරුන් ගෙනල්ලා සාකච්ඡා කළා කිව්වා.මම නීතීඥවරු ගෙනාවේ රහසිගතව නෙවෙයි එළිපිටයි. යම් නාළිකාවක් රාමුවෙන් පිට කටයතු කරනවා නම් අපි කැලෑ නීතිය ක්‍රියාත්මක කරලා ඒක නවත්වන්න සූදානම් නැහැ.පාතලයේ මැර පිරිසක් ගෙනල්ලා සාකච්ඡා කළා නම් ඔය කියන බෝම්බ,ක්ලෝමෝ ගැහිලි ගැන කියන්න තිබුණා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාවේ ඉන්න ප්‍රබලතම නීතීඥවරු කිහිප දෙනෙක් මම ගෙන්නුවා.නීතිමය රාමුවෙන් පිට කටයුතු කරන යම් යම් නාළිකා සම්බන්ධව යම් පියවරක් ගන්න අවශ්‍යය නීතිමය උපදෙස් දෙන්න කියලා මම ඒ අයට කිව්වා.ඒක තමයි කරන්න පුළුවන් සාධාරණම හා නීතිගරුකම වැඩපිළිවෙළ.ඒ සම්බන්ධව ක්‍රියාත්මක වීමට සිද්ධ වෙනවා නම් අපි ඒක කරනවා.මාධ්‍ය නිදහස හා නීතිය පටලවා නොගත යුතුයි.වල්බූරු නිදහසක් බලාපොරොත්තු වෙන්න එපා.එවැනි නිදහසක් ලෝකයේ කොහේවක් දීලා නැහැ.නීති රාමුව තුළ සියල්ල සිදුවිය යුතුයි.ඒ නිසා තමයි මම නීතීඥවරු ගෙනල්ලා සාකච්ඡා කළේ.මම කියන්නේ එක නාළිකාවක් සම්බන්ධව නොවෙයි. මේ ක්‍රමවේදය සම්බන්ධයෙන් පියවර ගැනීමට පවතින නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි විස්තරයක් අපට දීලා තිබෙනවා.යම් නාළිකාවක් නීතිමය රාමුවෙන් බැහර වෙනවා නම් නීතිය ආරක්ෂා කිරීමේ වගකීම අපට තිබෙනවා.මාධ්‍ය නිදහස රටේ මූලික රාමුවට යටත් විය යුතුයි.රටේ මූලික නීතිය ව්‍යවසථාවයි.ඒක පාවිච්චි කරමින් මුදලාලිට ඕන විදිහට තක්කඩි වැඩ කරනවා නම් නම් ඒ වෙනුවෙන් නීතිමය රාමුව තුළ ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු පැකිලීමක් නැහැ.නීතියේ රාමුව තුළ යම් වරදක් වෙලා තියෙනවා නම් ඒ ගැන සොයා බැලීමේ වගකීම මාධ්‍ය ඇමැතියරයා ලෙස මට තිබෙනවා”

Exit mobile version