අසේල කුරුළුවංශ –
යුද්ධය නිමා කළ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා වෙත ජාතියේ ගෞරවය ඇති නමුත් මේ වනවිට වියපත්ව සිටින එතුමා දේශපාලනයෙන් ඉවත් වී පිනක් දහමක් කරගෙන නිස්කාංසුවේ සිටීම වඩාත් යෝග්‍ය බව මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණෝ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ වෙත පැවසූහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (02) උදෑසන දළදා වහන්සේ වැඳපුදාගෙන මල්වතු අස්ගිරි මහා නායක අනුනායක හිමිවරු හමුවී සිය ඉදිරි දේශපාලන වැඩපළිවෙළ ගැන දැනුම්වත් කිරීම සඳහා නාමල් රාජපක්ෂ මහනුවරට පැමිණි අවස්ථාවේදී ය.
මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක මල්වතු පාර්ශවේය අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැදැකීමට ද නාමල් රාජපක්ෂ පැමිණියේය. සිය පිරිස සමග එම ස්ථානයට ගිය නාමල් රාජපක්ෂ අමතමින් අනුනායක හිමිපාණන් පැවසුවේ මේ වනවිට වියපත්ව සිටින මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කළ යුතු යහපත්ම දේ ලෙස තමන් වහන්සේට හැඟෙන්නේ දේශපාලනයෙන් ඉවත් වී පිනක් දහමක් කරගෙන සිටීම බවය. යුද්ධය නිමා කර රට ජාතිය එක්සත් කළ නායකයා ලෙස ඔහු සම්බන්ධව විශාල ජනතා ප්‍රසාදයක් පවතින බවත් අනු නායක හිමියෝ කීහ.
මේ අවස්ථාවේ දී නාමල් රාජපක්ෂ සමග සිටි කණ්ඩායමේ සන් කිරීම හේතුවෙන් එම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට එම ස්ථානයෙන් ඉවත් වීමට සිදුවිය.







