මහවැලිය අහෝසිකර ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම්ට දෙන යෝජනාවට පක්ෂව ඡන්දය දෙන ජනතා නියෝජිතයින්ට වෙන  දේ  මහවැලි ගොවීහු කියති!

මනම්පිටිය නිමල් ජයරත්න –  

වසර හතළිහකට අධික කාලයක් මෙරට සමස්ත ගොවි පරපුරට ඉමහත් සේවාවක් ඉටුකළ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අහෝසිකර  එහි ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැවරීමට  රජය මෙම අයවැය යෝජනා හරහා  ක්‍රියා  කළහොත් රටේ බහුතර ජනතාවක් විශාල ගැටලුවකට මුහුණදී, එය ජනවාර්ගික අර්බුදයක් දක්වා දුරදිග යෑමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ  අද  මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් සදහන් කළහ.

ඊට සහභාගීවූ ගොවි නියෝජිතවරු ප්‍රකාශ කළේ  පාර්ලිමේන්තුවේ දී මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දෙන ඕනෑම ජනතා නියෝජිතයෙකුට ඊලඟ මැතිවරණයේ දී තමන්ගේ සහාය නොලැබෙන බවය.

වැලිකන්ද  සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී මහවැලි බී කලාපයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේලා, සහ ගොවි නියෝජිතයන් එක්ව  මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේය.

එහිදී දිඹුලාගල රාහුලාලංකාර   හිමියන්  පෙන්වා දුන්නේ  රටේ පාලකයින් හිටිහැටියේ ගන්නා අත්තනෝමතික තීන්දු තීරණ නිසා ජනතාව අන්ත අසරණ වන බවත්, මහවැලි ඉඩම් අර්බුදයේදී කාබනික පොහොර අර්බුදයට  බහුතර ගොවිජනතාවක් මහපාරට බැස විවිධ උද්ඝෝෂණ විරෝධතා  සිදුකළා සේ, මහවැලි ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැවරීමට කටයුතු කළහොත් මහවැලි  බී කලාපයේ ගොවීන් මෙන්ම අනෙකුත් කලාපවල ගොවීන් විශාල පිරිසක් ද එක්ව ඊට එරෙහිව මහපාරට බැස උද්ඝෝෂණ සිදුකිරීමට කටයුතු කරන බවත්ය.


රාහුලාලංකාර නාහිමියෝ එහිදී මෙසේ ද පැවසූහ.

“මහවැලි ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට පැවරීමට පෙර විශාල වැඩ කටයුත්තක් ඉටු කිරීමට තිබෙනවා.  මෙම ගැටළුවේදී දේශසීමා ප්‍රශ්න ගැටලු ඇති  වෙන්න පුලුවන්.

විශේෂයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මාදුරුඔය ව්‍යාපාරයට යටතේ දකුණු ඉවුර සංවර්ධන කරන මොහොතක මෙහි ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්යාලට පැවරීමට සිදු වුවහොත් අනිවාර්යෙන්ම, මඩකලපුව, පොළොන්නරුව, අම්පාර දිස්ත්‍රික්කවල සිටින විවිධ ජාතීන් අතර ජනවාර්ගික අර්බුදයක් හටගන්නවා.

මේ තත්ත්වය තුළ  එළඹෙන 8 වෙනිදාට පාර්ලීමේන්තු කාරක සභාවේදී මහවැලි ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදීමේ යෝජනාව වහාම හකුලා ගන්නා ලෙස  දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව හැටියටත්, සමස්ත මහවැලි කලාප 10ම  ගොවි නියෝජිතයින් මෙන්ම ගොවිජනතාව වෙනුවෙනුත්  ජනාධිපතිවරයාගෙන්, අග්‍රාමාත්‍යවරයාගෙන් මෙන්ම පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමති ඇමැතිවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා.“ නාහිමියෝ සඳහන් කළහ.

මෙහිදී මාධ්‍ය සාකච්ඡාවට එක් වූ ගොවි සංවිධාන නියෝජිතයින් සඳහන් කළේ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ගොවි ජනතාව ට විසඳාගත යුතු ඉඩම් පිළිබද ගැටලු විශාල ප්‍රමාණයක් පවතින බවත්, එම් ඉඩම් බලතල  ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට පැවරීමට ක්‍රියා කළහොත් මහවැලි කලාප 10 ක ගොවි ජනතාව බරපතල අර්බුදයකට වැටෙන බවත්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එළඹෙන 8 වෙනිදා පාර්ලිමේන්තුවේදී කාරක සභාවට ගැනීමට නියමිත යෝජනාවට  පක්ෂව ඡන්දය දෙන ඕනෑම මන්ත්‍රීවරයෙකුට     ඉදිරියේදී මැතිවරණවලදී තම ගොවි ජනතාවගේ සහාය ලබානොදෙන  බවද එම ගොවි නියෝජිතවරු පැවසූහ.

Exit mobile version