මහර බන්ධනාගාර ගැටුමට මුල බලධාරීන් කොවිඩ් චක්‍රෙල්ඛ කඩා රැඳවියන් ගෙන ඒමයි…

අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි... 

මහර බන්ධනාගාර ගැටුමට මුල්වන කොවිඩ් ආසාදිතයන් පිළිබඳ සිදුවීමට පාදක වන්නේ ඉහළ බන්ධනාගාර අධිකාරිය විසින් චක්‍රලේඛ උල්ලංඝණය කරමින්,  ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විවිධ බන්ධනාගාරවලින් රැඳවියන් මහරට යොමු කිරීමට කටයුතු කිරීම බව සිදුවන පරීක්ෂණ ඔස්සේ අනාවරණය වෙමින් ඇතැයි වාර්තා වේ.

මහර බන්ධනාගාරය තුළ අවසන් මොහොත වන තුරුම කොවිඩ් වසංගතය පැවතියේ   ඉතාම ඉහළ පාලිත තත්වයක බවත් ඒ සඳහා   නිශ්චිත  ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ  බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. එම ආරංචි මාර්ගවලට අනුව අධිකරණයෙන් මහර බන්ධනාගාරයට එවන රැඳවියන් මුලින්ම යොමු කළේ පල්ලන්සේන නිරෝධායන කඳවුරටය. එම කඳවුරේ දින 14ක නිරෝධායනයකින්  අනතුරුව ආසාදිතයන් කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතත්, නිරෝධායනය වූවන් බෝගම්බර කඳවුර වෙතත් යොමු කර තිබිණි. මහර බන්ධනාගාරය තුළට ඇතුළු කරනු ලැබුවේ සති පහක් තිස්සේ අධීක්ෂණයට ලක් කළ රැඳවියෙකි.

මේ ක්‍රමවේදය බිඳ වැටෙන්නේ බන්ධනාගාර අධිකාරිය මහර බන්ධනාගාරය වෙත ව්‍යාජ තොරතුරු සහිත පවතින චක්‍රලේඛ උල්ලංඝණය කරමින් රැඳවියන් යොමු කිරීමත් සමගිනි.   කොවිඩ් වසංගත තත්වය නිසා බන්ධනාගාරයකින් බන්ධනාගාරයකට රැඳවියන් හුවමාරු කිරීම චක්‍රලේඛයකින් නතර කර තිබිණි. අත්‍යාවශ්‍ය අවස්ථාවක දී මාරු කළ හැකිව තිබුණේ  පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කර කොවිඩ් ආසාදිත නොවූ බව තහවුරු කරන ලද රැඳවියන් පමණි.


එසේ තිබිය දී නිරෝධායනය කළ බව දන්වා පී.සී.ආර් පරීක්ෂණ නොකර මහර බන්ධනාගාරය වෙත යොමු කළ රැඳවියන් ඉඩකඩ මදි කම නිසා වෙන් කර තැබිය නොහැකි වීමත්,  ඉහළ බලධාරීන් ඉදිරිපත් කළ තොරතුරු ව්‍යාජ ඒවා බව නොදැනීමත් නිසා බන්ධනාගාරය තුළ එක් වර ආසාදිතයන් විශාල පිරිසක් වාර්තා වූ බව හෙළි වී ඇත.

මේ සිද්ධිය අවස්ථාවක් කරගෙන අපරාධ කරුවන් පිරිසක් ඇති කළ ගැටුම කැරැල්ලක් දක්වා වර්ධනය වී රැඳවියන් 11 මියගොස් සියයකට අධික පිරිසක් තුවාල ලැබූහ. ගැටුමට මුල් වූයේ බෙහෙත් ගබඩාව ආරක්ෂා නොකිරීම බවත්, මානසික රෝගීන් වෙත ලබා දෙන විශාල බෙහෙත් ප්‍රමාණයක්  එක තැන ගබඩා කර තබා ගත් බවත්, ඒ හේතුවෙන් මෙම ගැටුම ඇති වූ බවත් කියමින්   මහර බන්ධනාගාරයේ වෛද්‍ය නිලධාරීවරයාට චෝදනා එල්ල විය.

මේ සම්බන්ධව සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තැබූ මහර බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය  ඉන්ද්‍රජිත් පනාවැන්න මෙසේ කියා තිබිණි.

“ තමනන්ගේ කුණු වහගන්න අහක ඉන්න එකෙක් අල්ලන්න දරන වෑයම… මිනිස්සු කුපිත වෙලා ගහගෙන වෙඩි තියාගෙන  ඉන්නකොට මං පලයංකො උං මැද්දෙන් බෙහෙත් ටික එළියට අරන් එන්න… මේවට ආරක්ෂාව දෙන්න ඕනැ   බන්ධනාගාර නිලධාරීන්“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහර සිද්ධිය ගැන පරීක්ෂා කරන විශේෂ කොමිසම වෙත අද (12)  වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න  කැඳවා සාක්ෂි සටහන් කරගෙන තිබිණි.

Exit mobile version