මහනුවර කිරිමුහුද මළ මුහුදක් කරන අඩි 09ක් දිගට වැඩෙන රාත්තල් 300ක් බර කිඹුල් මාළුවෙක්…

අඩි 09 ක පමණ දිගට රාත්තල් 300 ක් පමණ බරක් දක්වා වැඩෙන කිඹුල් මුහුණක් ඇති බිහිසුණු මත්ස්‍ය විශේෂයක් මහනුවර වැවෙන් හඳුනාගෙන තිබේ.

මාංශ භක්ෂක ඇලිගේටර් ගා ( Alligator Gar) නැමැති මෙම මත්ස්‍ය විශේෂය දකුණු හා මධ්‍යම ඇමරිකාව  නිජබිම කර ගනිමින් හැදී වැඩුණු මත්ස්‍ය විශේෂයකි.

මහනුවර වැවේ නිරීක්ෂණය වුන ඇලිගේටර් ගා ( Alligator Gar) මත්ස්‍යයා…

ලෝකයේ රටවල් විසින්    ආක්‍රමණශීලි සත්ත්වයෙකු ලෙස සලකන මෙම මත්ස්‍ය විශේෂය  සුරතල් මසුන් ලෙස නීති විරෝධී ක්‍රම මගින් රට තුළට ගෙන්වන බවත්,  ප්‍රමාණයෙන් විශාල වූ පසු මොවුන් ජල මූලාශ්‍ර මුදා හැරීම මේ වනවිට බරපතළ ගැටලුවක් නිර්මාණය කර ඇති බවත් විශේෂඥයෝ පවසති.

පරිසර පද්ධති විනාශ කරන මෙම ආක්‍රමණික මත්ස්‍යයයා   මසුන් පමණක් නොව කුරුල්ලන් පවා ආහාරයට ගන්නා බව හඳුනාගෙන ඇත. ඉතාම සීඝ්‍රයෙන් වර්ධනය වන මෙම මත්ස්‍ය විශේෂය  මෙම මත්ස්‍ය විශේෂ හැකි ඉක්මනින් වැවෙන් ඉවත් කිරීමට කටයුතු නොකළ හොත් ඔවුන්ගේ ගහණය වැඩි වී සමස්ථ ජෛව පද්ධතියව ව්‍යසනයට ලක් විය හැකි බව පරිසර විශේෂඥයෝ  කියති.


ඇලිගේටර් ගා ( Alligator Gar) මත්ස්‍යයෙක්…

මහනුවර වැවේ උල්පැන් ගේ අසල සිට මහාමායා බාලිකාවේ ප්‍රාථමිකය දක්වා වූ  කොටසේ ස්ථාන කිහිපයක දී ඇලිගේටර් ගා ( Alligator Gar) නිරීක්ෂණ වී ඇත. එම මත්ස්‍යයන් නිරීක්ෂණය කළ  පුද්ගලයින් කිහිපදෙනෙකුම ඊට අදාළ ඡායාරූප සමාජ මාධ්‍යයට  මුදා හැරීමට ද කටයුතු කර ඇත.

කිඹුලෙකු ගේ හා සමාන මුහුණ ඇති විශාල ලෙස වැඩුණු මත්ස්‍යයෙකු වැවේ සිටින බවට ලද තොරතුරු මත සිදුකළ පරීක්ෂාවක දී  අදාළ මත්ස්‍යා නිරීක්ෂණය වූ බවත් ඒ සම්බන්ධව නාරා ආයතනයට සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවත් මහනුවර වැවේ පොලිස් ජීවිතාරක්ෂක අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්නාත් යාපා පවසයි.

මහනුවර වැවේ සිටින මත්ස්‍යාගේ ඡායාරූප අනුව එම සතා ඇලිගේටර් ගේ ලෙස නිරීක්ෂණය වන බවත් ඇලිගේටරයෙකු ගේ මුහුණ ට සමාන මුහුණක් ඇති නිසා එම නම මෙම මත්ස්‍යාට ලැබී තිබෙන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිරසාර පරිසර කේන්ද්‍රයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ( පර්යේෂණ හා පරිසර කළමනාකරණ) ආචාර්ය නලීන් ගමආරච්චිගේ පවසයි.

ඇලිගේටර් ගා ( Alligator Gar) මත්ස්‍යයෙක්…

ඇලිගේටර් ගේ මත්ස්‍යා ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන බවත් මහනුවර වැවේ මෙම මත්ස්‍ය වර්ගය සිටින්නේ නම් ඔවුන් වැව් සොරව්වෙන් මැද ඇලට පැමිණ ඒ ඔස්සේ මහවැලි ගඟ දක්වා ගමන් කිරීමට හැකියාව තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.

මහවැලි ගඟේ අධි සංවේදී කාලපයක් වන හක්කිඳ දූපත් ආශ්‍රිතව පමණක් දැනට දක්නට ලැබෙන රතු දත්ත පොතට පවා ඇතුළත් කර තිබෙන කොළ ගඩයා වැනි මසුන් මෙවැනි ආක්‍රමණික මත්ස්‍යයන් හේතුවෙන්   ලෝකයෙන්ම තුරන් වීමේ අවධානමක් ද ඔහු මතුකරයි.

මෙම පරිසර විශෙෂඥවරු යෝජනා කරන්නේ  ගහණය තවත් වැඩි වීමට පෙර මත්ස්‍යා වැවෙන් ඉවත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු  බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආක්‍රමණික ශාඛ හා සත්ත්ව විශේෂ ගුවනින් හෝ මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණෙන බවත් ඒවා ව්‍යාප්ත වූ පසු පාලනය කිරීමට වඩා වැදගත් වන්නේ රටට ඇතුළු වීම වැලැක්වීමට විධිමත් ක්‍රියාමාර්ග ගැනීම බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිරසාර පරිසර කේන්ද්‍රයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ( පර්යේෂණ හා පරිසර කළමනාකරණ) ආචාර්ය නලීන් ගමආරච්චිගේ පෙන්වා දෙයි.

Exit mobile version