-
බස් නැවතුම්වලට ජංගම රසායනාගාරයක් රැගෙන විත් රියදුරන්ගේ සහ කොන්දොස්තරලාගේ ලේ සාම්පල මත්ද්‍රව්‍ය 12ක් සඳහා පරීක්ෂා කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැරසෙයි…
ඇල්කොහොල් පමණක් නොව ඕනෑම මත්ද්‍රව්‍යයක් භාවිතා කර මෝටර් රථ වාහන පදවන පුද්ගලයින් විෂයෙහි දැඩි නීති ක්‍රියාත්මක කෙරෙන බවත්, මෙතෙක් නෛතිකව දඬුවම් කළ නොහැකිව තිබූ ඇල්කොහොල් හැර වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් රිය පදවන්නන් විෂයෙහි ද මෙතැන් සිට නීතිය ක්‍රියාත්මකවන බවත් ප්‍රවාහන හා මහා මාර්ග ඇමති අද පාර්ලිමේන්තුවට දැන්වූයේය.
ඇමතිවරයා අද (08) මේ බව පැවසුවේ මෝටර් වාහන පනත යටතේ නියෝග අනුමත කිරීමට අදාලව මෝටර් වාහන මත්ද්‍රව්‍ය නියෝග මාලාව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
නියෝග මාලාව ඉදිරිපත්කරමින් ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.
“මෝටර් වාහන පනතේ අධිකාරියේ 203 වැනි අධිකාරියේ 151 වැනි වගන්තිය අනුව ඇල්කොහොල් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසු වාහනයක් මහා මාර්ගයකට ගත නොයුතු බවට නීති සකස් කරලා තිබුණා. “
“ මෝටර් පනතේ ඇල්කොහොල් ගෙන රිය පාලනය කරන අයට පමණයි නීති සම්පාදනය කරලා තියෙන්නේ. නමුත් ඒ පනතේ දක්වා ඇති මත්ද්‍රව්‍ය කිසිවක් රැගෙන තිබේද යන්න නිශ්චය කිරිම සඳහා යම් පරීක්ෂණයක් පවත්වනු ලබන ක්‍රමය සහ ආකාරය ගැන පරීක්ෂණයක් කරන ආකාරයගැන, ශරීරගතව ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය ගැන දක්වමින් රෙගුලාසි ප්‍රකාශ කර තිබුණේ නෑ.”
“ඒක ඇත්තටම අපේ රටේ පැවති ආණ්ඩුවල ලොකු ප්‍රශ්නයක්. ලංකාවෙ කුඩු ප්‍රශ්නය ඇති වෙලා විශාල කාලයක්. එත් ඒ මත්ද්‍රව්‍ය පරීක්ෂා කරන්න ක්‍රමවේදයක් තිබ්බේ නෑ. ඒ නිසා අප කළ දේ තමයි පනතේ 151 වැනි වගන්තිය සමග කියැවිය යුතු 37 වැනි වගන්තිය යටතේ කියැවෙන රෙගුලාසි සකස් කිරීමේ බලය යටතේ විෂය භාර අමාත්‍යවරයා විදිහට මම අමාත්‍යාංශ නිලධාරි සහාය ඇතිව 2025 අංක 01 දරන මෝටර් වාහන මත්ද්‍රව්‍ය නියෝගයන් 2452/40 සහ 2025 සැප්තැම්බර් 04 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කිරීම. අද දිනයේ තිබෙන්නේ එම නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.”
“දැන් පොලිස් නිලධාරින්ට අවසථාව ලැබෙනවා යම් පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය භාවිතා කර වාහනයක් පදවන බවට එම රෙගුලාසිවල දැක්වෙන කරුණු අනුව සාධාරණ සැකයක් මතු වන්නේ නම් එම පුද්ගලයා රජයේ වෛද්‍ය නිලධාරියෙක් විසින් හෝ රෝහල විසින් එම බලය පවරන ලද නිලධාරියෙකු ඉදිරියට පැමිණවීමට. ඒ සඳහා සැක කටයුතු පුද්ගලයාගේ රුධිර, මුත්‍රා ඛේට සාම්පලයක් ලබා දෙන්න නීත්‍යානුකූල බලයක් පොලිසියේ නිලධාරීන්ට ලැබෙනවා.”
“එම වගන්තිය අනුව ඔහු පාවිච්චි කර ඇති බව ඔප්පු වුනොත් අධිකරණ කටයුතුවලට යන්නත් බලය ලැබෙනවා. “
“මේ හා බැඳුන දෙවැනි එක මත්ද්‍රව්‍ය පරික්ෂණ ටිකක් දුර්ලභයි. ටිකක් සංකීර්ණයි. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ස්තුතිවන්ත වෙනවා ඒ ගැටලුව යම් පමණකට විසඳලා දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශයට විවිධ ආයතනවලින් ලබා දීලා තියනවා ජංගම රසායනාගාර. ඉතාම සූක්ෂම පරීක්ෂණ කරන්න හැකි බස් රථවල සකස් කළ රසායනාගාර. විශේෂත්වය වන්නේ ඒ පරීක්ෂණ ප්‍රතිඵල විනාඩි කීපයකින් දෙන්න පුලුවන්. දුප්පත් ගම්මානවලට ගිහින් ඒ පරීක්ෂණ කරන්න තමයි ඒ ජංගම රසායනාගාර දීලා තිබෙන්නේ. ඒ බස් රථ ගණනාවක් එතරම් භාවිතයෙන් තොරව පැත්තක තිබෙන බව දැනගත්තම අපි එක් බස්රථයක් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ලබා ගත්තා. “
“අපි ආරම්භ කර තිබෙනවා බස් නැවතුමක් ලඟට ගිහින් වෛද්‍ය ප්‍රවාහන ආයතනය සහ පොලිසිය එකතුවෙලා රියදුරු මහත්වරුන්ගේ රුධිර සාම්පල අරන් පරීක්ෂා කරන වැඩසටහනක්. එම රසායනාගාරයේ කෙරෙන පරීක්ෂණයෙන් විනාඩි දෙකකින් තුනකින් වගේ මත්ද්‍රව්‍ය 12ක් සම්බන්ධව පරීක්ෂණ කරගන්න පුලුවන්. ප්‍රතිඵල මුද්‍රණය කරලා රියදුරු මහත්මයාට දෙන්නත් හැකියි.”
“නගරාධිපතිවරු, ආණ්ඩුකාරවරු තමන්ගේ පලාතේ මේ පරීක්ෂණය කරගන්න සූදානම් නම් කිසිම අය කිරිමක් කෙරෙන්නේ නෑ… ඕනෑම පළාතට ඇවිත් අදාල පරීක්ෂණ කරලා දෙනවා. “
මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථයක් එළවීම යනු මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් බස් රථයක් පැදවීම හා සමාන බව ඇමතිවරයා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් නීතිය සහ ප්‍රායෝගික පැත්ත දෙකම අද දින සම්පූර්ණ කරන බව ඇමතිවරයා පැවසුවේය.







