බේරුවලට සහ ගාල්ලට බාන්නට තිබූ මාලු කිලෝ ලක්ෂ තුන හමාරක් ගැන තීන්දුවක්

දැනට පවතින කොවිඩ් – 19 උවදුර හේතුවෙන් ගැටලුවකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කර්මාන්තයක් වන ධීවර කර්මාන්තය බිඳ නොවැටී පවත්වාගෙන යාමට අවශ්‍ය ධීවර වරායන් සඳහා විශේෂිත වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් සැකසීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය බලධාරීන්ට උප‍ෙදස් දෙන ලදී.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දමා ඇති බේරුවල ධීවර වරායට ගොඩබෑමට බහුදින යාත්‍රා 32 ක් සහ ගාල්ල ධීවර වරායට බහුදින යාත්‍රා 21 ක් තිබෙන අතර මෙම යාත්‍රා තුළ මාළු කිලෝ 350,000 ක් (තුන් ලක්ෂ පණස්දහසක්) මෙරට වෙළෙඳ පොලට පිට කිරීමට පවතින බව වාර්තා වේ. මෙම බහුදින යාත්‍රා තුළ තිබෙන මෙම මාළු තොග පාරිභෝගිකයා අතට බෙදාහැරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීමට සැලසුමක් කඩිනමින් සකස් කිරීමට අද සෞථඛ්‍ය සහ ධීවර අමාත්‍යංශ මට්ටමේ ඉහළපෙලේ සාකච්ඡාවකදී තීරණය විය. ධීවර කාර්මිකයින්ට හා පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් යුතුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ඡාවේදී දිවයින පුරා ධීවර වරායන් 20 ක් ඇති අතර මේ වන විට ඉන් පෑලියගොඩ තොග මතස්‍ය වෙළඳ සැළ සමග ඍජුව සබඳතා පැවැත්වූ ගාල්ල, බේරුවල සහ වාලච්චේන යන ධීවර වරාය වසා දමා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව අවශ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය බලධාරීන් විසින් සකසා අද දින ධීවර අමාත්‍යාංශය හරහා ධීවර වරායන් වෙත නිකුත් කිරීමට කටයුතු කරන ලෙසට පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සංජීව මුණසිංහ මහතාට උපදෙස් දෙන ලදී. මෙම සාකච්ඡාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.අයි.රත්නායක මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී විය.


Exit mobile version